ගව ඝාතකාගාරයක් වටලා බලපත්ර නොමැතිව, නීති විරෝධී ලෙස කොළඹට රැගෙන යාමට සූදානම් කර තිබූ ගව මස් කිලෝ දහසකට ආසන්න ප්රමාණයක් සැකකරුවන් 5ක් සහ ලොරි රථයක් සමඟ අද (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
නොච්චියාගම පොලිස් වසමේ තල්ගස්වැව වල්පොලගම ප්රදේශයේ පවත්වා ගෙන ගිය, ගව ඝාතකාගාරයක් මෙසේ වටලා ගව මස් කිලෝ 1142 ග්රෑම් 500 ක ප්රමාණයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් උසාවිය පාර හලාවත, අවිස්සාවෙල්ල පාර ඔරුගොඩවත්ත, උසාවිය පාර කොළඹ 12, කොළඹ 10 සහ වල්පොල ගම නොච්චියාගම යන ප්රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
මී ගවයන් තිදෙනෙකු සහ එළ ගවයෙකු සොරකම් කර මස් ලබා ගත් බව සැකකරුවන් ගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වල දී පොලීසිය අනාවරණය කර ගෙන තිබූ අතර ඒ අනුව එම ගවයන් සොරකම් කළ පුද්ගලයින්ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව පොලීසිය සඳහන් කළේය.
කොළඹ ප්රදේශයේ හෝටල් සඳහා ලබා දීමට මෙම මස් තොගය සූදානම් කර තිබී ඇති අතර එය රැගෙන යාමට පැමිණි අධි ශීතකරණ සහිත ලොරි රථය ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එම්.එස් කුමාරසේන මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.