ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවා නෑ
ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී නැතැයි බලශක්ති අමාත්‍ය සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
ඇතැම් පාර්ශ්ව ගල් අඟුරු ගොඩබෑම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ක්‍රියාවලිය හේතුවෙන් අතිරේක පිරිවැයක් ලංකා ගල් අඟුරු සමාගමට හෝ අවසානයේ විදුලි පාරිභෝගිකයන්ට පැටවෙන්නේ නැති බවද අවධාරණය කළේය.
ගල් අඟුරු ගොඩබෑමේ ක්‍රියාවලිය සහ නෞකා ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අද(19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ටෙන්ඩර් පටිපාටියට අනුව අදාළ සමාගම් වෙත නෞකා පැමිණිය යුතු කාලසීමා පෙරදැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම වසරේ ප්‍රධාන ටෙන්ඩර් ක්‍රමවේදය සහ හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් නෞකා කිහිපයක් විවිධ හේතු මත නියමිත දිනවලදී මෙරටට නොපැමිණි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, 15 වැනි නෞකාව මාර්තු 3 වැනිදා පැමිණීමට නියමිතව තිබුණද අප්‍රේල් 8 වැනිදා පැමිණ ඇති බවත් 16 වැනි නෞකාව මාර්තු 8 වැනිදා පැමිණීමට නියමිතව තිබුණද අප්‍රේල් 12 වැනිදා පැමිණ ඇති බවත් 17 වැනි නෞකාව මාර්තු 13 වැනිදා පැමිණීමට නියමිතව තිබුණද අප්‍රේල් 29 වැනිදා පැමිණ ඇති බවත් 18 වැනි නෞකාව මාර්තු 18 වැනිදා පැමිණීමට නියමිතව තිබුණද අප්‍රේල් 18 වැනිදා පැමිණ ඇති බවත් 19 වැනි නෞකාව මාර්තු 29 වැනිදා පැමිණීමට නියමිතව තිබුණද මැයි 2 වැනිදා පැමිණ ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ලබාගත් පළමු නෞකාව අප්‍රේල් 20 වැනිදා පැමිණීමට බලාපොරොත්තු වූවද එය අප්‍රේල් 26 වැනිදා මෙරටට ළඟා වූ බවද ඔහු පැවසීය.
මේ වනවිට එම සියලු නෞකාවල ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
නියමිත දිනයේ නෞකාව පැමිණියද, ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වුවහොත් පමණක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
වාරකන් සමයේ මුහුද රළු වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් මාසය දක්වා යම් ප්‍රමාදයකින් සිදුවිය හැකි බවත් ඒ පිළිබඳව අදාළ සමාගම් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එම තත්ත්වයට අදාළ වගකීම් භාර ගැනීමටද සමාගම් එකඟතාව පළ කර ඇති බව ඔහු වැඩ්දුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

