නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුව ඇති වීම පිළිබඳ සොයා බැලීම සඳහා ටෙන්ඩරය ලබාදීමට අනුමැතිය ලබාදුන් ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
නව කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෝප් කමිටුව රැස් වූ අතර, එහිදී මේ සම්බන්ධයෙන් කමිටු සාමාජිකයක් අදහස් පළ කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම ගල් අඟුරු ගෙන්වීම සඳහා වන ටෙන්ඩරය රජය විසින් අවලංගු කර තිබෙන බවත්, ඒ අනුව රජයට කිසිදු පාඩුවක් සිදු වී නොමැති බවත් එම අවස්ථාවේ කරුණු පැහැදිලි කරමින් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසීය.
මෙලෙස අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කර ගල් අඟුරු ගෙන්වීමට කටයුතු කර තිබුණේ නම්, ඩොලර් මිලියන 450ක පාඩුවක් රජයට සිදු වන බවද එහිදී අදහස් පළ කරමින් කෝප් කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
අදාළ කරුණ සම්බන්ධයෙන් කෝප් කමිටු සාමාජිකයෝ මෙලෙස අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ - පසුගිය කාලයේ කෝප් කමිටුව පත් කරලා තිබුණේ නැති නිසා මහත් ආන්දෝලනයට පත් වුණා මේ ගල් අඟුරු ටෙන්ඩරයට සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකම කතා කරන්න ගිහින්. ඇමතිතුමා සහ අනෙක් අය පරස්පර මත දෙකක් දරනවා. මේක විගණකාධිපතිවරයා නිරීක්ෂණය කරලා වාර්තාවක් දීලා තිබුණා. ඔක්තෝබර් මාසයේ 15වැනිදා වනවිට මේ ගල් අඟුරු ඉවර වෙලා ගල් අඟුරු ගන්න අවශ්‍යතාවක් තිබුණා. මේකේ මොකක්ද ඔබතුමා දකින දේ?
විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න - මම දකින විදියට මේකේ පාඩුවක් සිදුවෙලා නෑ. ඒකට හේතුව තමයි ගල් අඟුරු ප්‍රසම්පාදනය දුන්නේ නෑ ඒ කියන ආයතනයට.
කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර - අපි එක දෙයක් කරන්න ඕන. මේ කමිටුවේ හිටිය රජයේ නිලධාරීන්ට අපි සවන්දීලා නෑ. ඒක නිසා මම හිතන්නේ අපි ඒ කණ්ඩායම් ගෙනල්ලා ආයේ බැලුවා නම් හරි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක - මේ ප්‍රසම්පාද කමිටුවේ සාමාජික නිලධාරීන්ට නැවත ප්‍රසම්පාදන කටයුතු සඳහා සහභාගි වීම අහෝසි කරන්න ඕන කියලා මුදල් කාරක සභාව නිර්දේශ ලබාදීලා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ - ජීවිතාන්තය දක්වා නැවැත්තුවත් කමක් නෑ. මම කියන්නේ ඒ පාර්ශ්වයටත් ඇහුන්කන් දෙන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක - විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා නිශ්චිතවම මේ ගල් අඟුරු ගෙන්වන්නේ රුසියාවෙන් වුවත්, කොම්පසයිඩ් ඉන්ඩෙක්ස් එකක් පාවිච්චි කිරීම වැරදියි කියලා අදහසක් එතුමා කියලා තියෙනවා. මේක වුණා නම් ඩොලර් මිලියන 450ක පාඩුවක් මෙතන සිදුවෙනවා. අපි මේ ගැන වෙනම සාකච්ඡාවක් කරමු. ගෙන්නන්න කියන්න ඒ කණ්ඩායම. අපි කතා කරමු.