ලිහිල් කළ ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම වහාම ඉවත් කර ග්ලයිෆොසේට් තහනම දිගටම පවත්වාගෙන යන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ග්ලයිෆොසේට් හරහා වකුගඩු රෝග, පිළිකා රෝග ඇතුළු රෝග ගණනාවක් ඇති කරන බවට තහවුරු වී තිබෙන බවත්, එසේ තිබියදී ග්ලයිෆොසේට් තහනම ලිහිල් කළ ඇමැතිවරයාගේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කළයුතු අතර, ඊට අදාළ මුදල තම සංගමය දැරීමට සූදානම් බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ග්ලයිෆොසේට් තහනම පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුව තීරණයක් ගත්තේ මන්ත්‍රීවරුන්ගේ මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමෙන් බවත්, මෙම ආදර්ශය ශ්‍රී ලංකාවත් ගතයුතු බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව වකුගඩු රෝගීන්ට, පිළිකා රෝගීන්ට, වන්දි ලබාගැනීමට පමණක් නඩුවලට ඇමෙරිකාව ඇතුළු රටවල් ගනණාවක නීතිඥ සංගම් නොමිලේ පෙනී සිටින බවත්, ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමද මෙම ආදර්ශය ගන්නා ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.