ශිෂ්‍ය උපදේශන හා ජාතික පාසල් ගුරු විභාග සමත් උපාධිධාරීන්ට මෙතෙක් ගුරුපත්වීම් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සංදේශයක් භාරදීම වෙනුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද (10) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ සිටි අතර, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඔවුන්ගේ සංදේශය භාරගනු ලැබිය.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශිෂ්‍ය උපදේශන ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධව මතුව ඇති ගැටලුව වන්නේ අදාළ පත්විම් ගැසට් කරන අවස්ථාව වනවිට පැවති පුරප්පාඩු සඳහා පළාත් මට්ටමින් වෙනත් ගුරු බඳවාගැනීම් හේතුවෙන් පුරප්පාඩු සංඛ්‍යාව 665ක් දක්වා අඩුවි ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ සියලු පළාත් බලධාරීන් සමඟ සාකච්ඡාකොට ඉදිරියේදි විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් අයුරින් සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ සිටින දෙලක්ෂ හතලිස් එක් දහසක් පමණ වන ගුරුභවතුන් අතරින් 60,000ක් පමණ සිටිනුයේ, ප්‍රාථමික අධ්‍යාපනයෙහි යෙදෙන ගුරුවරුන් බවත්, ඉතාම සංවේදි කරුණ වන්නේ ඔවුන්ගෙන් 15,000ක් එනම් 25%ක ප්‍රතිශතයක් නුපුහුණු ගුරුවරුන් විම බවත් අනාවරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ගතවූ දින 15ක් වැනි කෙටි කාලයක් තුළ වුව ද පද්ධතියෙහි පවත්නා මෙවැනි ගැටලුසහගත තත්ත්වයන් පිළිබඳ තමා සුවිශේෂ අවධානය යොමු කළ බව ද, ඒ අනුව ඉදිරියේදි ඉතා ඉක්මනින් මෙම තත්ත්වයන් වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපැකිළව ක්‍රියාවට නංවන බව ද අවධාරණය කළේය.