මිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක ඊයේ (23දා) පස්වරුවේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 120, සීප්පුකුලම ලිපිනයේ පදිංචිව සිටි එස්.එම්. කරුණාරත්න සිසිර කුමාර සෙනවිරත්න නැමැති 59 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඊයේ(23දා) රාත්‍රියේ සීප්පුකුලම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු අවසන් වී, පවත්වනු ලබන ගමේ සහල් මංගල්‍යය නමැති උත්සවයකින් අනතුරුව පිරිසක් අසල නිවසක මත්පැන් සාදයක් පවත්වා ඇතිි අතර එම මත්පැන් සාජ්ජය පැවැත්වෙන අතරතුර බහින්බස් වීම සිදුව ඇති බව පොලීසිය කියයි.
එහිදී පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා සීප්පුකුලම - තම්මැන්නාව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා ඇති අතර එහිදී මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (24 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
