වත්මන් ආණ්ඩුවේ දූෂණ විමර්ශන පිළිබඳව ජනාධිපති කොමිෂම් වාර්තාවේදී සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් රුපියල් කෝටි 65ක් (රු. 641,870,136ක්) අවභාවිත කර ඇති බවට නිගමනය කර ඇති බවත් එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම වාර්තාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් 1117කු නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගනිමින්ද, අවුරුදු 60ක් ඉක්ම වූ පුද්ගලයන් 30 දෙනෙකුට සේවා දිගු ලබාදෙමින්ද මෙම මුදල් අවභාවිත කර ඇති බවට කොමිෂමේ නිගමනය වී ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එසේම මෙසේ බඳවාගෙන ඇති පුද්ගලයන් 95%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවා ගෙන ඇති බවට කොමිෂම නිරීක්ෂණය කර ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ඒ අනුව නව ප්රජාතන්ත්රාවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ නඩු පැවැරීමට කොමිෂම නිර්දේශ කර ඇති බවද මන්ත්‍රීවරයා පවසයි.
ඒ අනුව 2015 ජනවාරි 15 දා සිට 2018 දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් ජනපතිවරාගෙන් ඉල්ලා සිටියි.
