ගම්පහ , කෙටවල අමුණෙහි දිය නෑමට ගිය බව කියන සිසුන් පිරිසක් අතුරින් 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන්ව ඇති අතර එම සිසුවා සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයෙන් ආධාර ඉල්ලා යැවූ බව ගම්පහ පොලීසිය අද (14දා) සවස සඳහන් කළේය.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කළගෙඩිහේන, මංගලතිරිය ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවෙකි.
කොළඹ ප්රධාන පෙළේ පාසල් කිහිපයක 11 වසරෙහි ඉගෙනුම ලබන ගම්පහ අවට ප්රදේශයන්හි පදිංචි සිසුන් දස දෙනෙකු අද (14දා) ගම්පහ, කෙටවල අරමුණ අසලට ගොස් ඇති බවත් ඉන් දෙදෙනෙකු ජලයට වැටීමෙන් පසුව අයෙකු බේරා ගැනීමට හැකි වූවද අනෙක් සිසුවා බේරා ගැනීමට නොහැකිවීමෙන් අතුරුදහන්ව ඇති බවට අනාවරණයවී ඇති බවත් පොලීසිය පවසයි.
මොවුන් පිරිස පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ ඇති බව අනාවරණයවී ඇති අතර මෙම සිසුන් පිරිස ගම්පහ පොලීසියට රැගෙනආ අවස්ථාවේ කිහිප දෙනෙකු අධික ලෙස බීමතින් සිටීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.
අධික ලෙස බීමතින් සිටීම මත සිසුන් සිව් දෙනෙකු නේවාසිකව ප්රතිකාර ලබාදීම සඳහා ඇතුලත් කොට සිටි අතර ඔවුන් සවස් වන තුරුත් නිවෙස් කරා යැවීමට නොහැකිවූ බව ගම්පහ රෝහලෙන් කළ විමසිමේදී දැනගත හැකි විය.
සිසුවෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවති අතර සවස නාවික හමුදා කිමිදුම් අංශය මගින් සිසුවා සොයා මෙහෙයුමක් සිදු කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක
