බකමූණ, ඇලහැර ,කුමාරඇල්ල, බුදුරුවයාය ,ගල්මුල්ල , ආදි ප්‍රදේශවල පදිංචි ජනතාව අද (03 ) දින දඹුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගය බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයෙන් හරස්කොට අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.
වසර තිහකට පසුව තම ගම්බිම් වලට වනඅලින් කඩාවැදී මිනිස් ජීවිත දේපළ වගාබිම් විනාශ කිරිම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු නොවිම හේතුවෙන් මෙම විරෝධතාවය පවත්වන බව ඔවුහු පැවසූහ.
විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවයේ නියැලුණහ.
බකමූණ කුමාර ඇල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ මිට දින කිහිපයකට ඉහත දි වනඅලි ප්‍රහාරයකින් මිය ගිය බවත් මේ දිනවල දිනපතාම වන අලියෙකු ගම්මානයට කඩා වැදි නිවාස වලට පහර දෙන බවත් පුද්ගලයන්ට නිරන්තරයෙන් පන්න පන්නා පහර දෙන බව ද ඔවුහු චෝදනා කරන්නට වූහ.
වර්තමාන වනජීවී අමාත්‍යවරුන්ට සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට විරෝධය ප්‍රකාශ කිරිම ද මෙහි විශේෂත්වයකි.
බකමූණ පොලීසියේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරිමට උත්සාහ කළද උදේ 9ට ආරම්භ කළ විරෝධතාවය පස්වරු 1.30 දක්වා අඛණ්ඩව ඔවුහු පවත්වන්නට වූහ.
පසුව බකමූණ පොලීසියේ නිලධාරීන් ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරියකු කැඳවා මෙම වනඅලියා අපොස සාපෙළ විභාගයෙන් පසුව අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වනඅලියා රාත්‍රියේ ගම්වැදීම වැළැක්විමට පියවර ගන්නා බවද සඳහන් කිරීමත් සමඟ ඔවුහු විරෝධතාවය අත්හැර දැමූහ.