ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නල මාර්ගික ඔක්සිජන් සැපයුම් පද්ධතියක් කල් තබා සකස් කිරීම මත මේ වනවිට කොරෝනා අසාධ්‍ය රෝගීන්ට පවා ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබී ඇති බව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රතිපාදන මෙන්ම පරිත්‍යාගශීලීන්ගේ ආධාර සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නල මාර්ගික ඔක්සිජන් සැපයුම සහිත වාට්ටු සකස් කර ගැනීමට හැකිවූ බවත් මේ වන විට කොවිඩ් අධි සත්කාර ඒකකයක් සහිතව ආසාදිතයින් 150 දෙනෙකුට ප්‍රතිකාර ලබාදිය හැකි අන්දමින් වාට්ටු හතක් රෝහලෙහි පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇති බව අධ්යක්ෂවරයා සදහන් කළේය.
තවද මෙම වාට්ටු අතර කොරෝනා ආසාදිත ගැබිණියන් සදහා වන විශේෂිත වාට්ටුවක් සහ සූතිකාගාරයක්ද පවත්වා යාමට හැකියාව ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.
දැනට පවතින කොවිඩ් අධි සත්කාර ඒකකයට අමතරව ඇදන් 24 කින් යුත් තවත් අධි සත්කාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බවද අධ්යක්ෂ සමන් පතිරණ මහතා පැවසු අතර ගම්පහ රෝහලේදී සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොරෝනා රෝගීන්ට මෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සිදු කෙරෙන බවත් පැවසීය.
රෝහලෙහි ස්වසන රෝග විශේෂඥ වෛද්‍ය බෝධික සමරනායක, කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ, විශේෂඥ වෛද්‍ය ජගත් කුලතිලක , විශේෂඥ වෛද්‍ය රෝහිත ජයමහ යන මහත්වරුන් ඇතුළු හෙද හෙදියන් සහ සමස්ත කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම රෝගී ජීවිත රැකගැනීමට හේතු වී ඇති බවද අධ්යක්ෂවරයා වැඩි දුරටත් සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක