විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීමට වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයට යන අතරවාරයේදී තම යතුරු පැදියට පෙට්‍රල් ලබා ගැනීමට ගොස් ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තරුණයෙකු අද (24 දා) අලුයම කන්ටේනර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලාකොළවැව, කිරලෝගම, තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි එම්. බී රවිෂාන් මධුරංග නමැති 19 හැවරදි තරුණයකු බව පොලීසිය කියයි.
පුත්තලම අනුරාධපුර ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ඔරලෝසු කණුව ආසන්නයේදී, පණ්ඩුලගම ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් පෝලිමේ දී මෙම අනතුර සිදුව ඇති බවත්, එම තරුණයාගේ යතුරු පැදියේ හැඩලය කන්ටේනර් රථයක බඳ කොටසේ ගැටී මාර්ගයට ඇද වැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
මෙම තරුණයා ඊයේ (23 දා) රාත්‍රියේ තඹුත්තේගම පිහිටි නිවසින් පිටත්ව වවුනියාවට යාම සඳහා අවශ්‍ය කරන පෙට්‍රල් යතුරු පැදියට ලබා ගැනීමට ගොස් ඉන්ධනහලේ පෝලිමේ රැඳී සිට ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් හඬා වැටෙමින් අදහස් දැක්වූ මිය ගිය තරුණයාගේ පියා වන නිමල් බණ්ඩාර (53) මහතා .
"මේ රටේ ජීවත් වෙලා වැඩක් නැහැ තාත්තේ , අපිට අනාගතයක් නැහැ, තවදුරටත් මේ රටේ ජීවත් වුනොත් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ , කියලා ගෙදරින් පිට වෙච්ච මගේ රත්තරං පුතා මට නැති වෙලා මහත්තයෝ, මගේ පුතා ආයේ නොයෙන්න යන්නම ගියා.
පුතා ඊයේ (23දා) රෑ නිවසින් පිටත් වුනේ වව්නියාවේ පාස්පෝට් කන්තෝරුවට යන්නයි, ඒ ගමනට කිලෝමීටර 80 කට වැඩි දුරක් යන්න ඕන හින්දා පුතා කලින් දවසම රෑ පිටත් වුනේ අනුරාධපුරයෙන් බයිසිකලේට තෙල් ගහ ගන්නයි, මගේ පුතා නිතරම හිටියේ මේ රටේ සිද්ධවෙන දේවල් ගැන දැඩි කල කිරීමකින්, ඒ නිසා තමයි රට යන වැඩේට ඉක්මන් කළේ, පුතා කිව්වේ මේ රටෙන් යන එකම තමයි හොඳ කියලා, අපිට වඩා දෙයක් ඒ දරුවන්ට තේරෙනවා ඒ නිසයි ඒ දරුවා එහෙම කියන්න ඇත්තේ, අපි නම් දැන් වයසයි අද ඉඳලා, හෙට මැරෙන්න පුළුවන්, මගේ දරුවාට අත් වෙච්චි ඉරණම මේ ලෝකෙ කිසිම දරුවෙකුට සිද්ධ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.