ගම්පහ, මිරිස්වත්ත නගරයට නුදුරු වැරැල්ලවත්ත ප්‍රදේශයෙහි ගැවසෙන නරි රංචුවක් හේතුවෙන් බියට පත්ව සිටින බව එම ප්‍රදේශවාසීන් පවසයි.
වසර කිහිපයක නරි කිහිප දෙනෙකු සිටි නමුත් මේ වනවිට රංචුවක් වශයෙන් ගැවසෙමින් නිවාස සහ මාර්ග අසළ ගැවසීම මත අපහසුතාවයක් මෙන්ම ජලභීතිකා රෝගය පවා මොවුන්ට වැළදීමක් සිදු වුවහොත් බියකරු තත්ත්වයක් බවත් ජනතාව පෙන්වා දෙයි.
සවස අදුර වැටීමෙන් පසුව නිවාස අසළට සහ මාර්ගවලට පැමිණෙන නරි රංචුව වැරැල්ලවත්ත, හෙට්ටියදෙනිය, හංසගිරි පාර ඇතුලු අවට ප්‍රදේශයන්හි ගැවසෙමින් පහන්වන තුරු කෑ ගසන තත්ත්වයක් පවතින බැවින් වනජීවි අංශය මගින් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇති බව වැරැල්ලවත්ත පදිංචිකරුවන් පවසයි.
ප්‍රදේශවාසීන් පත්ව සිටින අපහසුතාවය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද යන්න වනජීවී දෙපාර්තමේන්තුවෙහි බස්නාහිර පළාත් සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්. එස්.වේරගම මහතාගෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, මෙලෙස නරි රංචුවක් ගැවසීම පිළිබඳව සොයා බලා සිය දෙපාර්තමේන්තුවෙහි පශු වෛද්‍ය අංශයට දැනුම් දීම මත එහි ප්‍රධානී වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් ප්‍රදේශයට ගොස් නිරීක්ෂණයක් කළ බවයි.
එසේම නරි රංචුව ඉවත්කිරීම හෝ ගත යුතු ක්‍රියාමාර්ගය කඩිනමින් සිදු කරන බවත්ය ජනතාව තුළ පවතින බිය සාධාරණ බවත් අවශ්‍ය පියවර ගන්නා බවත් වේරගම මහතා සඳහන් කළේය.
තිලකරත්න දිසානායක