උතුරු පළාතේ “ගම සමග පිළිසඳර” ප්‍රථම වැඩසටහනවව්නියාව දිස්ත්‍රික්කයේ, වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී පැවැත්වේ. ගැමි හමුව සඳහා බෝගස්වැව මහා විද්‍යාල භූමිය තෝරාගෙන තිබේ.
මෙය “ගම සමග පිළිසඳර” වැඩසටහනේ 17 වැන්නයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) උදේ 10.00 ට ඇරඹෙන සංවාදයට දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීහූ සහ නිලධාරීහූ එක් වෙති.
වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 38ක් පමණ දුරින් නැගෙනහිරින් හා දකුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවියට හා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, බටහිරින් නන්දිමිත්ර ගම්මානයටත් මායිම්ව වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම නිලධාරී වසම පිහිටා තිබේ. බෝගස්වැව1, බෝගස්වැව2, කම්බිලිවැව, වෙඩිවෛත්‍යකල්ලු, කෝවිල්පුලියන්කුලම සහ වෙහෙරතැන්න ගම්මාන ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 478කින් සමන්විත වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමයේ ජනගහණය 1520කි. වී සහ හේන් ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.
වෙඩිවෛත්‍යකල්ලු හා අවට ගම්මානවල ජනතාව දිගු කලක සිට පොදු ප්‍රශ්න රැසකින් පීඩා විඳිති. අධ්‍යාපන සහ සෞඛ්‍ය ගැටළු ප්‍රධාන තැනක් ගනී. 2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වන අලි තර්ජනය ඇතුළු ප්‍රශ්නවලට ජනතාව මුහුණ දී සිටිති. ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුවට ස්ථීර විසඳුම් ලබා ගැනීම, වැව් සහ ඇල වේලි සංවර්ධනය, බෝගස්වැව රෝහල වැඩිදියුණු කිරීම, පොහොර ගබඩාවක් ස්ථාපනය කිරීම ගැමි ජනයාගේ සෙසු ඉල්ලීම් අතර වෙයි.
ජනාධිපති රාජපක්ෂ මහතා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව තමාම ගමට ගොස් ගැමි ජනතාව පෙළන ආර්ථික සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිවය. කෘෂිකර්මය මත පදනම් වූ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දුන් ප්‍රධාන ප්රතිඥාවකි.