2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත, ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනිඅවි 2ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් අද (01දා) නියම කළේය.
එසේම ටී-56 ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ළඟ තබාගත් බවට විහාරාධිපති හිමියන්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනාවන්ගෙන් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඌවතැන්නේ සුමන හිමියන් සමග එම නඩුවේ දෙවැනි විත්තිකරු වශයෙන් නම් කොට සිටි උන්වහන්සේගේ ගෝල හිමි නමක වූ මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහිව එල්ල කර තිබූ සියලු චෝදනාවලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
මෙම නඩුවේදී පළමු විත්තිකාර ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව ටී-56 ගිනිඅවි 02ක්, අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ළඟ තබා ගන්නා ලද බවට නීතිපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට තිබුණද, අත්බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ළඟ තබා ගන්නා ලද බවට උන්වහන්සේට එරෙහි එම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම චෝදනාවලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කර සිටියේය.
එමෙන්ම ටී-56 ගිනිඅවි 02ක් ළඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා, එම චෝදනාවට උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමග කරුණා පාර්ශ්වයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනක්ද චෝදනා ලැබ සිටි අතර, එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතිපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා, එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.
එසේම ඔවුන්ට එරෙහි නඩුව නීතිපතිවරයා ඉවත් කර ගත්තද, ඌවතැන්නේ සුමන හිමියන්, මාවෙලතැන්නේ සුමේධ හිමියන්ට එරෙහි නඩුවේ සාක්ෂි මෙහෙයවන ලදී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.