“මහ බැංකු අධිපතිට පමණක් නොව අපිටත් ලොකු හිත් අමාරුකම් , කලකිරීම් ඇතිවෙලා තියෙනවා. භාණ්ඩ රැසකටම සියයට සියයේ ණයවර ලිපි ආන්තිකයක් පැනවීම හරහා ඉදිරියේදී සිරිමා බණ්ඩාරණායක මැතිණියගේ කාලයේ වගේම ඇපල් මිදි ලංකාවේ දක්නට නොලැබෙන තැනට රට පත්වීමට ඉඩ තිබෙනවා” යැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
බෙන්තර ගීතා කුමාරසිංහ මහත්මියගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.
“දැයක් නගන සියක් නගර වැඩ සටහනේ ගාලු දිස්ත්‍රික්කයේ මුල්ම වැඩසටහන අද බෙන්තරින් ආරම්භ කලා.මේ වැඩසටහනේ සීය අතරට බෙන්තර ඇතුලත් වෙලා තිබුණේ නැහැ. බෙන්තර සීය අතරට ගන්න මට විශාල උද්ඝෝෂනයක් කරන්න සිද්ධවුණා. නාලක ගොඩහේවා ඇමතිතුමාගෙන් මම ඇහැව්වා ඇයි බෙන්තර නගරය කපලා තියෙන්නේ කියලා.මම ඇහැව්වා ඔබතුමාද අර වියත් මගෙන් ද කියත් මගෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා.කොහෝම හරි මම කෑගහලා නගර අලංකාර වැඩසටහනට බෙන්තර දාගත්තා.
බෙන්තර ඇල්පිටිය ජනතාව ගැනයි මම මේ කතා කරන්නේ.බෙන්තර ඇල්පිටිය ජනතාවට නිසි සැලකිල්ලක් නැහැ කියලා මට දැනෙනවා.එහේම නොලැබෙනවානම් මම දේශපාලනයට ආවේ මොන එහෙකටද කියලා හිතෙනවා.මම ඇවිල්ලා තියෙන්නේ අඩුමතරමින් ජනතාවට අවශ්‍ය දේවල් ටික කරලා දෙන්න.දැන් හොරවල පාලමේ වැඩ පටන් ගන්න සූදානම් වෙලා තියෙනවා.ඒක ඉතාම ලොකු වැඩක්.
බෙන්තර වගේම ඇල්පිටිය නගරයත් සංවර්ධනය කළ යුතුයි.මේ නගර දෙකේම වැඩ ටික ටික හෝ කරදෙනවානම් ඒක ලොකු දෙයක්. නැත්නම් මේ ජනතාව ජන්දය දීලා හූල්ල හූල්ල ඉන්නවානම් ඒක උහුලගෙන ඉන්න එක මට හරිම අමාරුයි.කොහොම වුණත් මම පොඩි යෝජනාවක් කරනවා.අපිට දැන ගන්න ලැබුණා අනවශ්‍ය භාණ්ඩ කියලා භාණ්ඩ රැසකට සියයට සියයක ණයවර ලිපි ආන්තිකයක් පනවා තිබෙනවා කියලා.
සාමාන්‍ය දුප්පත් මිනිහෙක් අයිස් පෙට්ටියක් ,ශීතකරනයක් නිවසේ තියා ගන්න කැමතියි.එක ගෙදරක විදුලි පංකා දෙක තුනක් තියා ගන්න මිනිස්සු ආසයි.
මේ ඇතැම් භාණ්ඩවලින් දුප්පත් මිනිස්සු වැඩියෙන් පරිහරණය කරන භාණ්ඩවල බදු අඩු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.
මට මතක් වෙනවා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ කාලයේදී අපි ඉස්කෝලේ ගියාම අහනවා ‘ඒ ෆෝ ඇපල්’ කියලා අපි අහනවා ඇපල් කියන්නේ මොනවද කියලා.අපි එතකොට ඇපල් දැකලා තිබ්බේ නැහැ.
ඒ කාලේ ඇපල් තිබ්බේ නැහැ.හෙට අනිද්දා වෙනකොට ඇපල් ,මිදි වගේ දේවල් ආනයනය කරන කොට විශාල බද්ධක් පනවන්න සූදානම් වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. රට හදන්න ඕන. ආර්ථිකය නංවන්න ඕන. මේක හරිම අසීරු කටයුත්තක්. නමුත් අර යට ඇදුම් ගැන කියන කතාව නම් මට අල්ලන්නේ නැහැ. ඒ කාලේ අපි ගාමන්ට් ෆැක්ටරි කරපු මිනිස්සු. දැන්නම් ඇමතිවරු ඉන්නවා සුරුට්ටු කඩයක්වත් දාලා නැති අය.
දැන් තියෙන තත්ත්වය උඩ අපේ ළමයිට ඇපල් කියන්නේ මොනවාද කියලා අහන තත්ත්වයක් ඒවිද කියලා දන්නේ නැහැ. එහේම වුණොත් ඒක හරිම භයානකයි.ඒවා අනවශ්‍ය බඩු කියලා කියන්න බැහැ.ඒවත් මිනිසුන්ට අවශ්‍යයි.මම හිතන්නේ ඊට වඩා තියෙනවා බදු ගැසිය යුතු දේවල්.
මහ බැංකු අධිපතිතුමාට නොයෙකුත් හිත් රිදවීම් තියෙනවා කියලා අපිට නොයෙකුත් ආරංචි තියෙනවා. මහ බැංකුව කියන්නේ අපේ හදවත වගේ තැනක්. එතනට හොදට වැඩ කරන්න පුළුවන් කෙනෙක් දාන්න ඕන.මහ බැංකු අධිපතිට විතරක් නොවෙයි අපිටත් ලොකු හිත් අමාරුකම් හා කලකිරීම් ඇති වෙලා තියෙනවා .නමුත් මේ අවුරුදු කිහිපය අපි ඒවා අමතක කරලා වැඩ කරන්න වෙලා තියෙනවා”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත