වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පසුගියදා (24දා)නඩු පැවරීය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම නඩුව නීතිපතිවරයා විසින් පවරන ලදී.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී. මහින්ද සාලිය සහ එම්.ඒ. මල්ලිකා නමැත්තන්ය.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එම සංස්ථාව සතු රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් (රු.48,563,929.06)සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 49ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් වරදවල් සිදුකොට ඇති බව නීතිපතිවරයා විසින් සඳහන් කොට ඇත.