දඹගල්ල පොලීසියට ලද තොරතුරක් මත දඹගල්ල ඉඟුරේතැන්න ප්‍රදේශයේ නිවසක් පරික්ෂාකිරීමේදී අල්මාරියක සූක්ෂම ලෙස සඟවා තිබූ ගජමුතු 08ක් පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
දඹගල්ල රුවල්වෙල තඹාන ඉඟුරේතැන්න පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු මෙලෙස පොලිස් භාරයටගෙන ඇත.
ගජමුතු අටක් රුපියල් කෝටි හතරකට අලෙවිකිරීමට ඇති බවට ලද තොරතුරක් මත උපාය දූතයෙකු මාර්ගයෙන් අදාල නිවසට ගොස් නිවෙස් හිමියා සමඟ සාකච්ඡාකිරීමෙන් අනතුරුව ඒවා මිලදී ගන්නා බවට පවසමින් ගජමුතු පෙන්වන අවස්ථාවේදී සැකකරු සහ ගජමුතු 08 අත්අඩංගුවටගෙන ඇත.
මෙම ගජමුතු ඇත්දළ වලින් ලබාගත් නියම ගජමුතු බවට සනාථකර ගැනීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ විමර්ශන නිලධාරීන් වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබාගැනීමට නියමිතය. සැකකරු සහ ගජමුතු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක
