ගංඟා වැලිවලට තහනමක් පනවා නෑ
කිසිදු අවස්ථාවක ගංගා වැලි භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර නොමැති බවත්, ගංගා වැලිවලට අමතරව වෙනත් ආදේශක භාවිතා කිරීම සඳහා නෛතික අවසරය ලබා දීම පමණක් සිදු කර ඇති බවත් නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු එල්.බී. කුමුදු ලාල් මහතා පැවසීය.
ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා ගංගාවැලි වෙනුවට සියුම් සමාහාරක ආදේශක ද්‍රව්‍ය හඳුන්වාදීම සම්බන්ධයෙන් මාධය දැනුම්වත් කිරීම සඳහා අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
"ඉදිකිරීම් ක්ෂේත්රයේදී බොහෝ රජයේ ඇස්තමේන්තුවල “ගංගා වැලි” යනුවෙන් සෘජුව සඳහන් කිරීම හේතුවෙන් ඒ වෙනුවට වෙනත් ආදේශක භාවිතා කිරීමේදී ගැටලු ඇති වුණා. එම ගැටලුවට විසඳුමක් ලෙස “සියුම් සමාහාරක (Fine Aggregate)” යන යෙදුම හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අතිවිශාල පාරිසරික හානිය වළක්වා ගැනීම සහ අධික මිල ගණන් යටතේ මුහුදු වැලි අලෙවි වීම හේතුවෙන් එයට විසඳුමක් ලෙස Fine Aggregate හඳුන්වා දී තිබෙනවා."
වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පෙන්වා දුන්නේ, ගංගා වැලි දිගින් දිගටම භාවිතා කිරීම නිසා ස්වභාවික ගැටලු රැසක් පැන නැගී ඇති බවයි. ස්වභාවික ගංගාවලින් වැලි අධික ලෙස ඉවත් කිරීම හේතුවෙන් ජල මට්ටම් පහළ ගොස් ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් බීමට ගන්නා ජලයට පවා ලවණ මිශ්‍ර වීම වැනි ගැටලු ඇතිවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද, පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශවල ගංගා වැලි කැණීම සීමා කිරීම සහ වැලි ප්‍රවාහනයට පනවා ඇති නියාමන හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කර්මාන්තය ගංගා වැලි හිඟයකට මුහුණ දී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගා වැලි මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, රජයේ සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති කෙරෙහි සැලකිය යුතු මූල්‍ය පීඩනයක් ද එල්ල වී තිබේ. මේ වන විට ගංගා වැලි කියුබ් එකක වෙළෙඳපොළ මිල රුපියල් 35,000 පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, ගංගා වැලි සඳහා ආදේශක ලෙස නිෂ්පාදිත වැලි (M-Sand), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines), අක්වෙරළ වැලි සහ මිලිමීටර 4 ප්‍රමාණයේ හලනයකින් හැලිය හැකි සියලුම එවැනි ද්‍රව්‍ය “සියුම් සමාහාරක” ලෙස භාවිතා කළ හැකි බවද ඔහු කියා සිටියේය.
තවද, 2026 සහ 2027 වර්ෂවල අතිවිශාල ඉදිකිරීම් සංඛ්‍යාවක් සිදු කිරීමට නියමිත බවත්, ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් සංඛ්‍යාවක් සිදු වීමට නියමිත වසර ලෙසද මෙය සැලකෙන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම ආදේශක හඳුන්වා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
රෙඩිමික්ස් කොන්ත්‍රාත්කරුවන් අතර දැනටමත් 90%කට ආසන්න පිරිසක් මෙම වැලි භාවිතා කරමින් සිටින බවත්, ඔවුන් වැඩි වශයෙන් M-Sand භාවිතා කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
