කෝටියක් වටිනා අත් ඔර්ලෝසුව රු. 5000කට විකුණද්දී කොටුවෙයි
ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ කොල්ලුපිටිය සිරිකොත මාවත නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරකු සොරා ගෙන තිබූ තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.
ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් වන ප්‍රධාන සැකකරු 1994 වර්ෂයේ දී එම විද්‍යාලයේ න් ඉහලම උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුවා බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු වන එම පුද්ගලයාට ඉංග්‍රීසි, දෙමළ ,සිංහල අරාබි එමෙන්ම හින්දි භාෂාව ලිවීමට මෙන්ම කතා කිරීමට සහජ දක්ෂතාවයක් ඇත්තෙක් බව පොලීසිය කියයි.
කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් ජනවාරි 27 දින නිවස වසා බේරුවල නිවස කරා ගොස් සිටියදී ප්‍රධාන සැකකරු විසින් මෙම නිවස බිඳ කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව, පවුම් දෙක බැගින් බර වළලු හතරක් ,
ඇපල් වර්ගයේ අයිපෑඩ් එකක් සොරාගෙන ගොස් තිබිණි.
ව්‍යාපාරිකයාගේ නිවසට ආසන්නව පිහිටි අත්හැර දමන ලද පාළු නිවසක පිහිටි වත්තේ අබලි ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම සඳහා පැමිණ තිබූ ප්‍රධාන සැකකරු එම නිවෙස පිටුපසට ගිය අවස්ථාවේදී ව්‍යාපාරිකයාගේ නිවස වටා තිබෙන තාප්පයට ඉහළින් වැවී තිබූ ගස්ලබු ගසේ ගෙඩි දෙකක් ඉදී තිබෙනු දැක ප්‍රධාන සැකකරු එය කැඩීම සඳහා තාප්පයට ගොඩ වූ අවස්ථාවේදී තවත් ගස්ලබු ගෙඩියක් ගස අසල වැටී තිබෙනු දැක එම නිවසේ පදිංචි කරුවන් නොමැති බවට තහවුරු කරගෙන තිබූ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
අනතුරුව නිවසේ ප්‍රධාන දොර අසලට ගොස් පා පහරක් එල්ල කළ ද විවර කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව විශාල ගලක් ගෙන දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ බවත් එම අවස්ථාවේදී දී පවුම් දහයක් බර රන් මාලයක් සහ පවුම් පහක් බර රන් තැල්ලක් බිම වැටුනද සැකකරුට ඒ පිළිබඳ හැඟීමක් නොවී අනෙකුත් දේපල රැගෙන නිවසින් පිට වී තිබු බවත් පොලිසිය කියයි.
අදාල සොරකම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා අදාල භාණ්ඩ වල විස්තර සහ ඡායාරූප ඇතුළත් කර භාණ්ඩ උගස් කරුවන්ගේ සංගමයේ සභාපති වරයාට ලිපියක්ද යොමුකර එම දේපලවල ඡායාරූප ඔවුන්ගෙ වට්සැප් ගෲප් එකට ද යෙදීමට කටයුතු කර යම් පුද්ගලයකු එම භාණ්ඩ උගස් තැබීමට හෝ විකිණීමට පැමිණියහොත් දැනුම් දෙන ලෙස දැනුම්වත් කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය
එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීම සඳහා වැල්ලම්පිටිය උකස් ආයතනයකට ප්‍රධාන සැකකරුගේ මිතුරා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී එම පුද්ගලයා සන්තකයෙහි ඇපල් වර්ගයේ අයිපෑඩය තිබුණු බවත් ප්‍රධාන සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මරදාන ප්‍රදේශයේ ආයතනයකට උකස් තබන ලද රන් වළලු උණු කර තිබියදී ග්‍රෑම් 28 ක ප්‍රමාණයක් සොයා ගැනීමටත් හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව රන්භාණ්ඩ උකස් තබා ලබා ගත් මුදලින් රුපියල් පනස් දහසක් පමණ ගෙවා මිලදී ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් මෙන්ම රුපියල් තිස් දාහක් මුදලක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ඉස්ටේට් පුර පදිංචි වයස අවුරුදු 34 හා 39 පසුවන්නන් ය.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා,උප පොලිස් පරීක්ෂක මනතුන්ග,පොලිස් කොස්තාපල්වරුන් වන 22929 සිල්වා 77424 සුදීර මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
-
sumith Monday, 28 March 2022 12:15 PM
if his age is 39, then his birth year should be 1983. if he did A/L in 1994, he has done A/L when he was 11 years old (has got the best result in the school too). would like to know writer Bimal Shayman's age and O/L maths results
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

