මාලදිවයින සහ ඩුබායි අතර මෙරට සිට ක්‍රියාත්මක මෙතෙක් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන සුපිරි කෝටිපති ධනවතකු සහ කෝටිපති ව්‍යාපාරික පුතෙකු මෙන්ම තවත් පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
මෙන්ම මත්ද්‍රව්‍ය විශේෂය මෙතෙක් මෙරටින් හමුනොවු මත්ද්‍රව්‍ය විශේෂයක් බව පොලිසිය කියයි.
එම සැකකරුවන් තිදෙනා සමග හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ගෑම් 115 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ගෑම් 21 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව එහි අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතා සමඟ කළ සැලසුමක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට බෙදාහැරිමේ නියෝජිතයා ලෙස කටයුතු කරන මොරටුව සමන්පුර කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතු අත්අඩංගුවට ගෙන සැකකරු සන්තකයේ තිබී හඳුනා නොගත් විශේෂිත වූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් පොලිස් භාරයට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කාලයක් තිස්සේ සිදුකළ හඳුනා නොගත් මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරු අනාවරණය කල තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු වන මෙරටට බෝට්ටු සහ එන්ජින් ආනයනය කිරීමේ යෙදෙන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු තවදුරටත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම ජාවාරමේ මෙරට බෙදාහැරීමේ කටයුතු වලට සහාය ලබා දුන් දෙහිවල ඇන්ඩර්සන් පාරේ පුද්ගලයකු ද කුශ් ගෑම් 20 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රටේ සිට ගුවන් තැපැල් හරහා සහ කූරියර් සේවාව ඔස්සේ සෙල්ලම් බඩු අතරේ සඟවා මෙරටට ආනයනය කර ඇති මෙම විශේෂිත වූ මත්ද්‍රව්‍ය මොරටුව සමන්පුර දී අත්අඩංගුවට ගත් සැකකරුට භාරදීමෙන් අනතුරුව ඔවුහු ඒවා නැවත කොටස් කර සෙල්ලම් බඩුවල ඇසුරුම් කර මාලදිවයින ට ප්‍රති අපනයනය කිරීමට දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ මහ මොළකරු වෙත භාර දී තිබූ බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව මෙම හඳුනා නොගත් මත්ද්‍රව්‍ය විශේෂය රාත්‍රී සමාජ ශාලා ඇබ්බැහිව සිටින ධන කුවේරයන් අතරද ප්‍රචලිත කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වෙමින් පවතින බව වැටලීම කළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇති දුර විමර්ශන කටයුතු සඳහා දෙයිවල සහ මොරටුව පොලිසිය වෙත භාරදී ඇත.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ පානදුර සුමිත් පොතුපිටිය