ආයෝජනය කරන මුදල් වලට සිත්ගන්නා සුළු ඉහළ පොලියක් ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා සහගත ලබා ගෙන පලා ගොස් සැඟව සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ නගරයට ආසන්න රජයේ විදුහලක දෙමළ මාධ්‍ය ඉගැන්වූ ගුරුවරයෙක් බව පොලිසිය කියයි .සැකකරුගේ වංචාවට අසූ වු පුද්ගලයන් තිස් පස් දෙනෙකුට අධික ප්‍රමාණයක් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට අමතරව හොරණ පොලිසියට ද පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.
එම පැමිණිලිකරුවන් අතර බහුතරයක් දෙනා ගුරුවර ගුරුවරියන් බවත් සෙසු කීපදෙනා ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් බවත් පොලිසිය කියයි
සැකකාර ගුරුවරයා විසින් වෙනත් පුද්ගලයන් සිදුකරන ඇන්තූරියන් වගාවන් ඔහුගේ බව පවසා ඒවා පෙන්වා මුලාකර එයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයකට 20,000 ක මාසික පොලිය ක් ලබාදෙන බව පවසා මෙම කූට වංචාව සිදුකර තිබූ බව පොලිසිය පවසයි.
ගුරුවරු ගුරුවරියන් දස දෙනෙකුට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 සිට ඉහළ මිල ගණන් සැකකරු පවසා තිබූ ඇන්තූරිම් ව්‍යාපෘතියට ආයෝජනය කිරීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇති බවත් සෙසු අය ලක්ශ දහයට අඩු මුදල් ප්‍රමාණයන් ද ලබාදී ඇති බව පැමිණිලි වලින් සනාථ වෙන බව පොලිස් නිලධාරියෙක් කීය .
ලබාදෙන මුදලට විශ්වාසය තහවුරු වන පරිදි විවිධ වර්ණයෙන් යුත් සහතික පතක් ද ලබාදී ඇති අතර ,මුදල් ආයෝජනය කළ පුද්ගලයන්ට මුල් මාස දෙක තුන නිසි පරිදි පොරොන්දු වූ පොලි මුදල ලබා දී තිබූ සැකකරු ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගෙන කරගෙන ඔවුන් මාර්ගයෙන් තවත් පුද්ගලයන් කූඨ වංචාව සඳහා පොළඹවාගෙන තිබූ බව පැමිණිලිකරුවන් සිදුකරන ලද ප්‍රකාශ වලින් සනාථ වන බව පොලිසිය කියයි.
ඒ හේතුවෙන් මුදල් ආයෝජන කරන ලද ගුරුවර ගුරුවරියන් බැංකුවලින් ලක්ෂ ගණනින් ණය මුදල් ලබා ගෙන නැවත නැවත එකිනෙකාට හොර රහසේ සැකකරු පැවසූ ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කර මෙම කූට වංචාව සඳහා ලක්ෂ ගණනින් අසු වී ඇතැයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර ගුරුවරයා සොයා විමර්ශන සිදු කිරීමේදී ඔහු ඒ බව දැනගෙන පරිහරණය කරන ලද දුරකතනය විසිකර දමා ඇතැයි පොලිසිය කියයි.
හොරණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත සැකකාර ගුරුවරයා පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික විමර්ශනවලදී තමන්ගේ මානසික තත්ත්වය ව්‍යාකූල බවත් ඒ හේතුවෙන් මන්නාරම යාපනය නුවරඑළිය ආදී ප්‍රදේශවල තැන තැන ඇවිදිමින් සිටි බව සැකකරු ප්‍රකාශ කර ඇත
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ ඉතා සුළු මුදලක් තිබුණ බවත් ගුරුවර ගුරුවරියන් සැකකරු විශ්වාස කර ආයෝජනය කළ මුදල් වලට සැකකරු කුමක් කළේද යන්න සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර ගුරුවරයා 47 හැවිරිදි එක් දරු පියෙකි.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ජි රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ටි. නන්දසිරි පොලිස් සැරයන් 14828 ඉන්ද්‍රසිරි කාන්තා පොලිස් සැරයන් 2015 දිලීපා පොලිස් කොස්තාපල් 71385 සංජීව මහත්වරු පරීක්ෂණ පවත්වති.