කොට්ටාව පරණ පාරේ පිහිටි තෙමහල් ගොඩනැඟිල්ලක බිම් මහලේ ඇති වූ ගින්නකින් රුපියල් කෝටි හැටකට ආසන්න අලාභයක් සිදුව ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.
ඉකුත් (19) දා රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පළමු මහලේ පුද්ගලයින් දෙදෙනකු රැඳී සිට ඇති අතර ඔවුන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය කියයි .
කොට්ටාව නගරයේ ව්‍යාපාරිකයකුට අයත් මෙම තෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ ගින්න හටගෙන ඇති අතර පසුව එහි රස්නය පළමු මහලේ රැදී සිටි පුද්ගලයන් දෙදෙනාට දැනීමත් සමග ඔවුන් සොයා බැලීමේදී බිම් මහලේ ගින්න දැක ක්ෂණයකින් ක්‍රියාත්මක වී අසල්වාසීන්ගේ ද සහය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ.
එහෙත් දිගින් දිගටම ගින්න ව්‍යාප්ත වීම හේතුවෙන් ඒ බව කොට්ටාව පොලීසියට සහ ගිනි නිවන ඒකක වලට දැනුම් දී තිබුණි.
ඒ අනුව කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක්, දෙහිවල මහ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් සමග නිලධාරීන් පහළොස් දෙනකු පමණ එම ස්ථානයට පැමිණ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගෙන තිබූ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පියවර ගෙන තිබුණා.
ඒ වනවිටත් බිම් මහලේ ගාල් කර තිබූ ශීතකරණ සහිත ලොරියක් ඇතුළු ලොරි රථ තුනක්, ප්ලාස්ටික් පුටු 50, කැනපි හට් 01, කේටරින් භාණ්ඩ තොගයක්, අධි ශීතකරණයක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබුණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියමිතය. කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න