රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් (1,496,155,864) ලබා තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ, රුපියල් මිලියන 100ක් පමණක් වීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) විශේෂ අවධානය යොමුව තිබේ.
ඒ අනුව රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
සභාපතිවරයා මේ අදහස් පළ කළේ, රාජ්‍ය දැව සංස්ථාව එහි 2019 සහ 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරික්ෂාව සහ කාර්ය සාධනය ඇගයීම සඳහා පසුගියදා කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීය.
එමෙන්ම රුපියල් මිලියන 14.4ක් වටිනා ණයගැතියන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සංස්ථාව විසින් කපාහැරීම පිළිබඳ මෙහිදී කෝප් කමිටුව කරුණු විමසීය. එහිදී නිලධාරීන් සඳහන් කළේ, ආයතනික විගණන හා කළමනාකරණ කමිටුවේ අනුමැතිය ලබාගෙන 2007දී එවකට ක්‍රියාත්මක වූ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය ණය සම්බන්ධ ඒකාබද්ධ අරමුදල භාරව කටයුතු කරන්නේ, මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිසාවෙන්, එසේ ණයගැතියන් කපා හරින්නේ නම්, ඒ පිළිබඳ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත දන්වා අවසර ලබාගත යුතු බවයි.