උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී කෝවීඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් නිරෝධායන කාලසීමාව අවසන් වූ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 52 දෙනෙකු නිදහස් වී ඉන්දීය බලධාරීන්ට භාර දීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 56 දෙනෙකු පසුගිය ජනවාරී 25 වනදා නිදහස් කිරීමට අධිකරණය නියෝග කොට සිටියද සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්වලදී ධීවරයින් 43 දෙනෙකුටම කෝවීඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් එම පිරිස් නිරෝධායනය කරවීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව ඉතිරි ධීවරයින් 13 දෙනාගේද පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී ඉන් 4 දෙනෙකුට කොවීඩ් වැළඳී තිබීම හේතුවෙන් එම සිව් දෙනාද නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබූ අතර ධීවරයින් 43 දෙනාගේ නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව ඉතිරිවූ තවත් ධීවරයින් 9 දෙනෙකුද සමගින් ධීවරයින් 52 දෙනෙකු ඉදිරි දිනකදී ඉන්දියාවට භාර දීමට පියවර ගෙන ඇතැයි යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.