කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් 06/22 දින කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
පකිස්තානයේ කරච්චි නුවර සිට ඉකුත් 06/15 දින " වයිඩ් ජුලියට් " (Wide Juliet ) නැමැති නැවෙන් මෙම ශීතකරණ ලද බහාලුමක් තුළ මෙම හෙරොයින් තොගය කොළඹ වරාය වෙත ගෙනැවිත් තිබුණි.
මේ පිළිබඳව කොළඹ වරාය පාලන රේගු අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත දීර්ඝකාලීන විමර්ශන සිදු කරමින් මෙම බහාලුම අත් අඩංගුවට ගැනීමට සූදානම් වනවිට , මෙම බහාලුම කොළඹ වරායට ගෙනැවිත් තිබූ කොළඹ ප්‍රදේශයේ ආනයනකරු , මෙම බහාලුම වහාම ආපසු පකිස්තානයේ කරච්චි නුවර වෙත හරවා යැවීමට සූදානම් කර තිබේ.
එහෙත් ඊට පෙර ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් මෙම බහාලුම අත් අඩංගුවට ගෙන ඒ තුළ වූ විශේෂ කුටීර තුළ සගවා තිබූ මෙම හෙරොයින් තොගය අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ වනවිට මෙම හෙරොයින් තොගය සමග මෙම ආනයනයට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු කොළඹ වරාය පාලන රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ද සහාය දක්වා තිබූ අතර , මේ වනවිට මෙම හෙරොයින් තොගය සහ මෙම නීතිවිරෝධී ආනයනයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා ද මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .


