කොළඹ වරායට නවීන සැපයුම් මධ්යස්ථානයක්
කොළඹ වරාය තුළ නවීන සැපයුම් මධ්යස්ථානයක් (Logistics Hub) රාජ්ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ක්රමවේදය යටතේ සංවර්ධනය කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරිය තීරණය කර තිබේ.
චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම, ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී සමාගම එක්ව ක්රියාත්මක කිරීමට යෝජනා කර තිබූ ඒකාබද්ධ ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට එහි කොටස් හිමියන් තීරණය කිරීමත් සමඟ මෙම නව සැලසුම ක්රියාත්මක කිරීමට නියමිතය.
2023 වසරේදී ස්ථාපිත කරන ලද දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථානය (South Asia Commercial and Logistics Hub – SACLH) නම් වූ එම ව්යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 280ක පමණ ආයෝජනයක් යෝජනා කර තිබූ අතර, වර්ග මීටර් 150,000ක පමණ බිම් මහල් ධාරිතාවකින් යුත් නවීන සැපයුම් පහසුකමක් ස්ථාපිත කිරීම එහි අරමුණ විය.
කෙසේ වෙතත්, පවතින බාහිර තත්ත්වයන්, වාණිජ කරුණු සහ කොටස් හිමියන්ගේ අවශ්යතා සලකා බැලීමෙන් අනතුරුව එම ව්යාපෘතිය ඉදිරියට ගෙන නොයාමට තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ නියාමන අවශ්යතා සහ මෙහෙයුම් වියදම්වලට යටත්ව කොටස් හිමියන්ගේ ආයෝජන දායකත්වයන්ට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 29.8ක පමණ මුදලක් ආපසු ගෙවීමට නියමිතය.
නව සැපයුම් මධ්යස්ථානය තරගකාරී ලංසු කැඳවීමේ ක්රියාවලියක් හරහා, අදාළ අනුමැතීන්ට යටත්ව සංවර්ධනය කිරීමට ශ්රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර ඇත.
මෙම ව්යාපෘතිය මඟින් බහාලුම් ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් ලෙස පමණක් නොව, පුළුල් සමුද්රීය හා සැපයුම් සේවා මධ්යස්ථානයක් ලෙස ද කොළඹ වරායේ කාර්යභාරය පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
එමඟින් පෞද්ගලික අංශයේ ආයෝජන ආකර්ෂණය කරගැනීම, වරාය භූමිය හා යටිතල පහසුකම් වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම, දිගුකාලීන ආදායම් උත්පාදනය සහ දකුණු ආසියාවේ ප්රමුඛ සමුද්රීය හා සැපයුම් මධ්යස්ථානයක් ලෙස කොළඹ වරායේ තරගකාරීත්වය ශක්තිමත් කිරීම අපේක්ෂිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

