කවුරු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්ත බවත් කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් බවත් නිකම්ම බලකොටුවක් නොව, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බලකොටුවක්" යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹමින් ඊයේ (13) මෝදර ප්‍රදේශයෙන් ආරම්භ කල ගෙයින් ගෙට - හදවතින් හදවතට යාමේ වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යන වැඩසටහන අපි අද උතුරු කොළඹ ආසනයෙන් ආරම්භ කළා. 2015 දී අප ලබාගත් ජයග්‍රහණය හමුවේ ජනතාවට සුවිශේෂි කාර්යයක් ඉටුකරන්න අපට හැකි වුණා. ඒ තමයි රටෙන් ගිලිහි යමින් පැවති ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට හැකිවීම. නමුත් අපිට ජනතාව වෙනුවෙන් ඉටුකරන්න නොහැකි වුණ කොටසක් තිබෙනවා. ඒ සියල්ල සම්පූර්ණ කරලා, ජනතාවට උපරිමයෙන් සේවය කරන්න ජනාධිපතිවරණයෙන් විජයග්රහණයක් ලබාගන්න අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කල යුතුයි.
ප්‍රාදේශීය සභා ඡන්දයක් සහ ජනාධිපතිවරණයක් කිසිසේත්ම සංසන්දනය කරන්න බැහැ. අපි මේ තත්ත්වය ගැන පැහැදිලිව දැනගෙන සිටියා. ඉදිරි ජනාධිපතිවරණයේ විශේෂි ජයග්‍රහණයක් ලබාගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වනවිට අත්වැල් බැඳගෙන සිටිනවා.
එක් එක් පාර්ශවයන් විසින් මේ දිනවල ජනතාව අතර අසත්‍ය ප්‍රචාර පතුරවනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර කිසිදු එක්වීමක් සිදුවෙලා නැහැ. ජනාධිපතිතුමා ස්වාධීනව කටයුතු කරනවා කියන්නේ, වෙනත් පක්ෂයක් සමග එකතුවෙලා නැහැ කියන එකනේ. වැඩි දවසක් යන්න මත්තෙන් සෙසු පක්ෂ සියල්ලක්ම එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ආකාරයේ තත්ත්වයක් අපි ඉදිරියේදී ඇති කරනවා "යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
