ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් ඊයේ 28 රාත්‍රී අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි.
මෙම මර්ග කොටසට ස්ථාන තුනකදී පස්කඳු කඩාවැටී ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වූ අතර ගමනාගමනය සදහා එම මාර්ග කොටස භාවිතා කිරීම ඉතා අවදානම් විය.
මාර්ග සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදා රාත්‍රියේම මාර්ගය පිළිසකර කර වාහන ගමනාගමනය සඳහා විවෘත කෙළේය .
සති අන්තයේ එළඹි දිග නිවාඩු වේ දී පිට පළාත්වලින් එන වාහන අධික බැවින් මෙම මාර්ගයේ ගමන් ගැනීමේදී විමසිලිමත් වන ලෙසත් ඈත දර්ශනය නැරඹීමට ඉදිකර ඇති නැරඹුම් වේදිකාවල නැවතීමේ දී ද විමසිලිමත් වන ලෙසත් පොලිසිය මහජනයාට දැනුම් දෙයි.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල ළමා උද්‍යානය ද තාවකාලිකව අද දින වසා ඇති බව බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් වරයා නිවේදනය කර ඇත.
මේ දිනවල සවස් කාලයේ අධික වැසි පතිත වන බැවින් විශේෂයෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට හපුතලේ දක්වා කොටස බෙරගල වැල්ලවාය මාර්ගයේ බෙරගල කොස්ලන්ද දක්වා කොටස සහ ඇල්ල වැල්ලවාය මාර්ගය යන මාර්ග භාවිතයේදී විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර පසුගිය දිනවල නාය ගොස් අවහිර වූ හපුතලේ හල්දුම්මුල්ල ප්‍රදේශවල අතුරු මාර්ගවල පස්ගල් මහත් වූ වෙහෙසක් දරා ඉවත් කර මේ වනවිට පිළිසකර කර යථා තත්ත්වයට පත් කර ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා ලේකම් උපුල් යාපා මහතා පැවසීය.