මුදල් , රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු ටී56 ජීව පතුරොම්, ගිනිඅවියක්, අත්බෝම්බයක්, සොරකම් කරන ලද රන්මාල ඇතුළු උපකරණ සමඟ අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අද(01දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුවන, අඟුණකොළපැලැස්ස සහ වීරකැටිය යන ප්රදේශවල පදිංචි 36 හැවිරිදි දෙදෙනකු 28, 27 සහ 21 හැවිරිදි පුද්ගලයින් බව නිලධාරිහු කියති. අඟුණකොළපැලැස්ස ගමරාළගම ප්රදේශයේ පාළු පොල්වත්තක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සමඟ ටී56 ජීව පතුරොම් 18ක්, මිලිමීටර 38 වර්ගයේ ජීව පතුරොම් 4ක්, මෙරට නිශ්පාදිත පතුරොම් 6ක් දැමිය හැකි ගල්කටස් වර්ගයේ රිවෝල්වරයක්, සොරකම් කළ බව කියන රන් මාල දෙකක්, විදෙස් රටක නිෂ්පාදිත අත්අබෝම්බයක්, යතුරුපැදි අංක තහඩු දෙකක්, විශාල ප්රමාණයේ මන්නා පිහි දෙකක්, පතුරොම් බහාලුමක් සහ මංකොල්ලකෑම් සඳහා භාවිතා කළ බව කියන යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයිනේ ප්රදේශ රැසක මංකොල්ලකෑම් සහ රන්මාල පැහැරගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවේ හිටපු සෙබළු දෙදෙනකුද ඇතැයි පොලිසිය කියයි.
පොලිස් අත්අඩංගුවට ගත් යතුරුපැදි අංක තහඩු ඇඹිලිපිටිය ප්රදේශයෙන් සොරකම් කළ ඒවා බවට සොයාගෙන ඇති අතර දැනට වසර දෙකකට පමණ ඉහතදී හම්බන්තොට සහ ලුනම ප්රදේශයේ ඉන්ධන පිරවුම්හල් දෙකකට ඇතුළු වී ආයුධ පෙන්වා මංකොල්ලකෑමේ සිද්ධියකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර, උප පොලිස් පරීක්ෂක තුෂාර, පොලිස් සැරයන් සිරිවර්ධන(55840), ඉන්දික(3732), පොලිස් සැරයන් සංජය(67495), කුමාර(29554), සිවිල් ආරක්ෂක උප නියාමක අමිල(11049) යන නිලධාරිහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
අනීෂා මානගේ