ලංගම බස් රථයක් තුල අපයෝජනයට ලක් වූ තරුණියක බේරා ගැණීමට කටයුතු කල බස් කොන්දොස්තරට එල්ල වූ මැර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ,නිකවැරටිය ශ්‍රී ලංගම බස් සේවකයෝ වැඩවරා අද (04දා) බස් නැවතුම් පලේදී විරෝධතාවයක නිරත වූහ.
නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස්රථ 40 ක පමණ ගමන් වාර නවතා සියලු බස්රථ නිකවැරටිය බස් නැවතුමේ ගාල් කරමින් බස් සේවකයන් විශාල පිරිසක් අඛණ්ඩ වැඩ වැරුමක් අරඹමින් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
නිකවැරටිය නගරයේ සිට රස්නායකපුර දක්වා රාත්‍රි 7.00 ට පමණ ධාවනය වූ බස් රථයේ ගමන් ගත් තරුණියකට පුද්ගලයෙකු ගෙන් කරදර වන බව පැවසීමෙන් පසු ඇය වෙනත් අසුනකට මාරු කල කොන්දොස්තර වරයාට එම පුද්ගලයා සහ ඔහුගේ ඥාතියෙකු විසින් බස් රථය තුලදී මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ,කොන්දොස්තර වරයා රෝහල් ගතව දින හතරක් ගත වුවත් ,සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම මුල් කරගෙන මෙම අඛණ්ඩ වැඩ වැරුම ආරම්භ කල බවද බස් සේවකයෝ කීහ.
මෙලෙස පහර කෑමට ලක්ව බරපතල තත්වයෙන් නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කඩිගාව ප්‍රදේශයේ පදිංචි ජනක බංඩාර (38) එක් දරු පියෙකු වන බස් කොන්දොස්තර වරයාට උඩහේනේගම ප්‍රදේශයේදී බස් රථය තුලදීම පහර දුන් මෙම සැකකරුවන් දෙදෙනා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරණ තුරු තම සටන අත් නොහරින බවද බස් සේවකයෝ සඳහන් කලහ.
බස්රථ තුල තරුණියකට පමණක් නොව කුඩා දැරියකට ,මවකට පවා නිදහසේ ගමන් කිරීමට නොහැකි තත්වයක් වර්තමානයේ උදා වී ඇති සමාජ වටපිටාවක ,එම තත්වයන් වලක්වා ලීමට බස් සේවකයෙකු කටයුතු කිරීම අගය කලයුතු බවද., එහෙත් තම සහෝදර බස් සේවකයාට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත සිද්ධියට වහා නීතිය ක්‍රියාත්මක වියයුතු බවද බස් සේවකයෝ බලධාරීන්ට මෙහිදී අවධාරණය කලහ.
සිද්ධියට සම්බන්ධ බව කියන මෙම සැකකරුවන් දෙදෙනා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද ,ඔවුන් වහා අත්අඩංගුවට ගැණීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවත්, අදාල සැකකරුවන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරණ බවද නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කලේය.
සේවකයන්ගේ වැඩ වැරුම හේතුවෙන් , නිකවැරටිය නගරයෙන් ගමන් අරඹන සියලු මාර්ග වල බස් ගමන් අඩාලව පැවති අතර බස් වැඩ වැරුමෙන් බස් මගීන් විශාල පිරිසක්ද 04 දා උදෑසන සිට මහත් අපහසුවට පත්ව සිටි අතර ඉන්දන අර්බුදය හේතුවෙන් සීමිත සංඛ්‍යාවක් ධාවනය වන පෞද්ගලික බස් රථ වලද දැඩි මගී තදබදයක්ද පැවතුනි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
