රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතයි. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුව තුළ ගෙවීමටරජය මේ වනවිට කටයුතු කරමින් සිටින බවද රණතුංග මහතා පැවසුවේය.
මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුව මෙම සතියේදී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10ට ආසන්න පිරිසක් නියුතුවෙති. කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය දැඩි පසුගාමීත්වයකට ලක්විය.එම ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන සීමා කිරීම්, සැපයුම් ප්‍රවාහන ප්‍රමාදය, බැංකු පහසුකම් සීමා කිරීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යෑම, ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟවීම වැනි කරුණු හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම අනෙකුත් ප්රමුඛ ව්‍යාපෘතීන්වලට දැඩි බලපෑම් එල්ලවිය. මේ තත්වය නිසා කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ.
එහෙත් ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාගැනීමට ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇළුමීනියම්, යකඩ, පී.වී.සී බට, වයර්, ටයිල් ආදී අමුද්‍රව්‍ය මිල වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇත. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම උපාංගවල මිල පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත්වීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇළුමීනියම් උපාංග වැනි අත්‍යාවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පහසුවෙන් වෙළඳපොලෙන් ලබාගැනීමට හැකිවන පරිදි සී/ස ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මඟින් ආනයනය කර බෙදාහැරීමටත් කටයුතු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.