පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් 24 වෙනිද උදෑසන හයයි හතළිස් පහට පමණ ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
කුරුණෑගල සිට සමන්තුරේ දක්වා සෝපා රැගත් ලොරියක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර ලොරි සහයකයාගේ කකුලක් තුවාල වී ඇති තිබේ.
ඔවුන් ලොරියේ සිරවී සිටියදී ඒ දුටු කීපදෙනෙකුට ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත.
කොටලීය ඔයේ ජලය පිරී තිබුණානම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වනු ඇති බව ජීවිත බේරාගත් ප්‍රදේශවාසීන් කියයි.
මනම්පිටිය කොටලීය පාලම දෙපසින්ම රියදුරන්ගේ වේගය පාලනය කිරීමට මාර්ගය හරහා යොදා තිබෙන තාර ගැබ් නොපෙනෙන නිසා මෙම අනතුර සිදුවීමට බොහෝ සෙයින් බලපෑ බව රියැදුරු අප සමග සඳහන් කළේය.
මනම්පිටිය කොටලීය පාලමෙන් බසයක් පෙරළී ඉකුත් ජුලි මාසයේ 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් අහිමි අතර මෙම පාලම පුලුල් කරදෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළද ඊට ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම මාර්ගය පුළුල් කිරීමටනම් රුපියල් මිලියන පන්සියයක මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා රජයට මුදල් නොමැති අතර ණය ප්‍රතිවියුහගත වැඩසටහන යටතේ පාලම පුල් කිරීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
මනම්පිටිය කොටලීය පාලමේ යටින් ඇති යකඩ තහඩු, ප්ලේට්, මලකඩ අල්ලා දිරාපත් වී පාලම අබලන් තත්වයේ පසුවන නිසා කුමන හෝ අවස්ථාවක විශාල විනාශයක් සිදුවීමට පෙර මෙම පාලම නවීකරණ කටයුතු කරදෙන ලෙස හෝ පාලම පුළුල් කරදෙන ලෙස රියදුරන් සහ ප්‍රදේශවාසීන් රජයෙන් නැවතත් ඉල්ලා සිටිති.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න


