ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ අද (23දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ අද (23දා) සවස විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ දී, එක්දින ධීවර යාත්‍රාවක් තුළ සඟවා නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙනඒමට උත්සාහ කළ උර 10ක පාර්සල් 185ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව, මෙම කේරළ ගංජා තොගය සහ එක්දින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, මෙම ජාවාරමට සම්බන්ධ එක් සැකකරුවකු සහ තවත් ඩිංගි යාත්‍රාවක්ද එහිදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 120කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 31ත් වන හැඳල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනා ගන්නා ලදී. එම සැකකරු, එක්දින ධීවර යාත්‍රාව, ඩිංගි යාත්‍රාව සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇති අතර, මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වැඩිදුර විමර්ෂණ කටයුතු සිදු කරමින් පවතී.


