ඉදිරි දින තුන තුළ පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය අත්හිටුවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වස භංග යෝජනාව විවාදයට ගත හැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (09) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ දින තුනක විවාදයක් අවශ්‍ය නමුත්, මේ මොහොතේ එය අවශ්‍ය නොවන බවයි. සුදුසු අවස්ථාවකදී මෙම දින තුනේ විවාදය ඉල්ලා සිටින බවද ඔහු සදහන් කළේය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
සෞඛ්‍ය ක්ෂේත්රය ගැන අදත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනවා. මාධ්‍ය තුළත් යනවා. මේ පිළිබඳව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. සභා කටයුතු එකේදී මේ සම්බන්ධව ආණ්ඩුව මේක අද ගන්නවද, හෙට ගන්නවද කියන කාරණාව පැහැදිලි කර තිබෙනවා. විපක්ෂ නායකතුමා කිව්වා මේ ගැන කතා කරන්න දවස් තුනක් අවශ්‍යයයි කියලා. ජනාධිපතුමා කිව්වා එහෙම නම් හෙටයි, අනිද්දයි, සෙනසුරාදායි මේකට ගන්න කියලා. එහෙම වෙනසක් කරනවා නම් සභා කටයුතු එකක් කැදවන්න වෙනවා. ආණ්ඩුව පැත්තෙන් අපි සූදානම් ඕනෑම දවස් තුනක් දෙන්න. මේක ගෙනල්ලා තියෙන්නේ විපක්ෂයෙන්. විපක්ෂය එකඟ වෙන්න ඕනි මේක කවදද ගන්නේ කියලා. හෙට අනිද්දා ගන්නවා නම් ඒකටත් සුදානම්. ඔබතුමන්ලා දිනයක් දෙනවා නම් ඒකට අපි සුදානම්.
පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
පසුගිය අවස්ථාවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මේ සතියේ වැඩ නියම කෙරුවා. හෙට වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැන අපි විවාදයක් ඉල්ලලා තියෙනවා. මේ සතියේ වැඩ නියම කරලා තියෙන්නේ. හදිසියේ මෙය වෙනස් කරන්න බෑනේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
අපි එකගයි අපිට ගැටළුවක් නෑ. රටේ ලොකු ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක විශේෂ අවධානයක් යොමු කරලා තියෙන වෙලාවක මේක කල් දානවද කියන එක ඔබතුමන්ලා තීන්දු කරන්න. ඒ පිළිබඳව අපිට ගැටළුවක් නෑ. මීට පෙරත් හදිසි අවස්ථාවන්වලදී සභා කටයුතු එක කැඳවලා දින වෙනස් කරන්න කතා කළා. නිලධාරීන්ටත් ඒ සඳහා සුදානම් වෙන්න ඕනි නිසයි මම ඇහුවේ. අපිට පුළුවන් හෙට අනිද්දා වුණත් ගන්නව නම් ගන්න.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -
අපිට ඇත්තටම දින තුනක විවාදයක් අවශ්‍යයයි. හැබැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ප්‍රකාශ කළ ආකාරයට අපි පක්ෂ නායකයින් රැස්වෙලා මේ සතියේ කාල සටහන තීන්දු කරලා ඉවරයි. මේ සතියේ කාල සටහනට අපි හෙට දිනය අරගෙන තිබෙනවා, උඩරට වතු ක්ෂේත්රයේ ජනතාවගේ ආර්ථික, සාමාජීය, අධ්‍යාපනික, සෞඛ්‍යමය ගැටළු ගැන කතා කරන්න. රජයට වතු ජනතාව ගැන තැකීමක් නෑ.
වතු ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අමාරු නිසා ඒ අය හිතනවා ඇති මේ සතියේ විශ්වාස භංගය ක්‍රියාත්මක කරන්න. වතු ප්‍රජාව බාල්දු කරන්නට කටයුතු කරන්න එපා. සෞඛ්‍ය ඇමතිවරයාට එල්ල කර ඇති විශ්වාසභංගය ගෙන එන්න අවශ්‍ය දින තුන අපි ලබා ගන්නවා. රජයට සම්බන්ධ මන්ත්‍රීවරු මේ විශ්වාස භංගයට විරුද්ධව හෝ ඡන්දය ලබා නොදෙන්නට කටයුතු කරමින් යනවා කියලා අපිට දැන ගන්නට ලැබුණා. අපි ඒ අය එක්ක සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා නිසි වෙලාවට අපි මේක ගන්නම්.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
වතු ප්‍රශ්න ගැන යෝජනාවට ගෙනල්ලා ස්ථිර කරලා තියෙද්දි මෙතුමන්ලා සෞඛ්‍ය ගැන ලොකුවට කතා කරපු නිසා තමයි මම කිව්වේ ආණ්ඩුව අපි සුදානම් හෙට හරි මේක ගන්නවනම්. මේකෙන් පැහැදිලි වෙනවා එතුමන්ලා මේ සම්බන්ධයෙන් තාම සුදානමක් නෑ කියලා. දැනුයි සාකච්ඡා කරමින් යන්නේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා -
අපි හොද සුදානමකින් ඉන්නවා. කෑ කෝ ගහන අයටත් තීන්දු ගන්න වෙනවා මේ රටේ ජනතාව මරණ මංචකයට යවන වැඩපිළිවෙලත් එක්ක හිට ගන්නවද? නැත්තම් මිනිස්සු ජීවත්කරවන තැන ඉන්නවද කියලා.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
මරණ මංචකය 88/89 කාලයේත් තිබුණ දේවල්. ඔබතුමන්ලා දන්නවා ඒ ඉතිහාසය. අලුත් මරණ මංචක නෙමෙයි. අපි මේ කතා කරන්නේ ඔබතුමන්ලාට අවස්ථාව දෙන්නේ මේ විශ්වාස භාංගය ගෙනාවොත් දවස් තුනක් හරි මේ සෞඛ්‍ය ගැන තිබෙන ගැටළු කතා කරන්න. අදත් ප්‍රශ්න තුනක් අහනවා. මේක ඔබතුමන්ලාගේ අතේ තියෙන දෙයක් අපි මැදිහත් වෙන්නේ නෑ. ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරන්නේ මේක කතා කරලා ඉවර කර ගන්න පුළුවන්.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා -
ගරු කතානායකතුමනී, හෙට දිනය වතු ප්‍රජාවගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කරන්නට වෙන් කරලා තිබෙන්නේ. ඒකට ප්‍රමුඛතාවය ලබා දෙන්නට ඕනේ. දින තුනක විශ්වාසභංග යෝජනාව අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ වෙලාව අපි තීන්දු කරන්නම්.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - ඒක සැප්තැම්බර් මාසයේ ගන්න පුළුවන්.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
ඒක ඊළඟ සතියේ සාකච්ඡාවට ගන්න පුළුවන්. ඔබතුමන්ලා එකඟ නම්.
කාතානායකතුමා - එතුමා එකඟයි.