වර්තමානයේ ජනතාව මුහුණ දී සිටින කෙටිකාලීන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින්, දීර්ඝ කාලීනව රට නගාසිටුවිය හැකි වැඩපිළිවෙළක් පදනම් කරගත් අයවැයක් අද (13දා) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙවර අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (12දා) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ඊයේ සවස් වනවිටත් සැකසෙමින් පැවති බවය. එය ඊයේ රාත්‍රීයේදී මුද්‍රණය කිරීමට නියමිතව තිබු බවද ඔහු එහිදී සඳහන් කළේය.
කෙටි කාලීන ජනප්‍රිය බව උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවත්, ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගුකාලීන ස්ථාවරත්වය මෙන්ම, පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසුණු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එහිදී සමස්ත ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම, ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙතෙක් කලක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වනවිට නොමැති බවත්, සීමිතව ඇති එම අයිතිවාසිකම් උපයෝගී කරගනිමින් දේශීය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම මට්ටමක රඳවා ගැනීමේ අභියෝගයටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කළ බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත්, සහන අවශ්‍ය දිළිඳු ජනතාව කෙරෙහිද වැඩි අවධානයක් යොමුකර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයද ධනාත්මක තැනකට පැමිණ ඇති බවත්, පැලැස්තර ක්‍රමවේදවලට නොගොස්, ජාතියක් ලෙස සැවොම එක්ව නැගිටීමට පෙළ ගැසෙන ලෙස ජනතාවට ආරාධනා කරන බවත් රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.