ගම්පහ, දාරළුව කෙටවල අමුණෙන් දිය නෑමට පැමිණ සිටි සිසුන් හය දෙනෙකු බෙම්මුල්ල පොලිස්ථානය මගින් පොලිස් භාරයට ගෙන දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව් පියන් හට බාරදීමට පියවර ගත් බව බෙම්මුල්ල පොලීසිය පවසයි.
සිසුන් පිරිසක් අද (23දා) කෙටවල අමුණ වෙත පැමිණ සිටිනු දැක ඇති පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මොවුන් පොලිස්ථානයට රැගෙන විත් ප්රශ්න කිරීමේදී කොළඹ ප්රදේශයේ පාසලක 10 සහ 11 ශේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මොවුන් පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ අනතුරුව දුම්රියෙන් දාරළුව දුම්රිය ස්ථානයෙන් බැස කෙටවල අමුණ වෙත පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
මෙම කෙටවල අමුණ අසල දිය නෑමට ගිය කිහිප දෙනෙකුම දියේ ගිලී මිය ගොස් ඇති අතර පසුගිය 14 වැනි දිනද කොළඹ ප්රදේශය ප්රධාන පාසලක 16 හැවිරිදි සිසුවෙකු මෙම අමුණේ දියේ ගිලී මිය ගොස් තිබිණි.
එම සිසුවා සමග තවත් කොළඹ ප්රදේශයේ පාසල් කිහිපයක සිසුන් දස දෙනෙකු මෙම අමුණ වෙත පැමිණ අධික ලෙස මත් පැන් පානය කොට සිටීම මත රෝහල්ගත කිරීමටද ගම්පහ පොලීසිය පියවර ගෙන තිබිණි.
අමුණ අසල සිටියදී පොලිස් බාරයට ගෙන තිබූ සිසුන් පිරිස පාසල් නිල ඇඳුමින් සිටි බවද පොලීසිය පවසයි.
බෙම්මුල්ල පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චින්තක ලියනගේ මහතා සිසුන් පිරිසට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව් පියන් හට බාරදීමට පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් නිලධාරිනියක ප්රකාශ කොට සිටියේ තම දරුවන්ගේ ක්රියා කලාපයන් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බවත් මෙවන් ක්රියාකාරකම් මත දරුවෙකුගේ ජීවිතයක් නැති වීමෙන් පසුව පසුතැවීමෙන් ඵලක් නොවන බවත්ය.
ගම්පහ තිලකරත්න දිසානායක
