2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය.
මේ වනවිට ඇතැම් ගොවීන් රජයෙන් ලැබෙන සහනාධාර නොලැබී යනු ඇතැයි උපකල්පනය කරමින් රාජ්‍ය අංශයෙන්ම යූරියා සහ බණ්ඩි පොහොර ලබා ගත යුතු යැයි සිතා කටයුතු කරන බැව් පෙනීගොස් ඇත.
නමුත් පොහොර මිලදී ගැනීමේ දී ගොවිජනතාවගේ පහසුව උදෙසා ඔවුන්ගේ අභිමතය පරිදි පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. දැනට පුද්ගලික අංශය විසින් අලෙවි කරන යූරියා පොහොර මිල කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9000 දක්වා අවම වී ඇත.
කෙසේ වෙතත් රජය විසින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන සහනාධාර මුදල් තීරණය කළ පරිදිම, සියලුම ගොවීන්ට ලබාදීමට කටයුතු යොදා ඇත. ගොවීන් රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගත්තත්, එය සහනාධාර ලබා ගැනීමට බාධාවක් නොවේ. එකී සහනාධාර යථා පරිදි ගොවිජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව ගොවීන්ට හෙක්ටයාර් 01කට රු.20,000ක් හා හෙක්ටයාර් 02කට රු.40,000ක් වශයෙන් පොහොර මිලදී ගැනීමට සහනාධාර මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත.
එම නිසා මෙවර යල කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම ගොවි අභිමතය පරිදි සිදු කළ හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.