කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළවල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ නිසා එම පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන් හිඟවීම නිසා ගොවිපොළ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් අදාල බලධාරින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කරනු ලැබීය.
පසුගියදා (08) බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සඳහා අමාත්‍යවරයා එම ගොවිපොළට ගියේය.
එහිදී පර්යේෂණ ගොවිපොළවල් පවත්වාගෙන යාම සඳහා උග්‍ර ලෙස කම්කරු හිඟය බලපා ඇතැයි අදාල බළධාරින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. බතලගොඩ පර්යේෂණ ගොවිපොළේ ඇතැම් ස්ථානවල වී අස්වනු නෙලා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එම කම්කරු හිඟය බව ද ඔවුහු පැවසීය.
දැනට මෙම පර්යේෂණ ගොවිපොළවල සේවය කරන කම්කරුවන් සදහා ලබා දෙන්නේ ඉතාමත් අවම දෛනික වැටුපකි. මෙම දීමනාව අඩු තරමින් තවත් සියයට 50කින්වත් ඉහළ දැමීමට හැකිනම් මෙම ගොවිපොළවල කම්කරු ගැටළුව විසඳාගත හැකි යැයි නිලධාරිහු පෙන්වා දුන්නේය.
ඒ අනුව කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ සේවය කරන කම්කරුවන් සඳහා දෛනික දීමනාව වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ඒ සඳහා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.