වී වගාව ආශ්‍රිතව දැනට පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වැරදි උපදෙස් මත අනිසි ලෙස කෘමිනාශක නොයොදන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගොයම් පත්‍ර කහවීම බණ්ඩි පොහොර හෙවත් MOP යෙදීම මගින් පාලනය කර ගත හැකි බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
වී වගාව ආශ්‍රිතව මේ දිනවල පැතිර යමින් තිබෙන රෝග තත්ත්වයන් හතරක් හඳුනාගෙන තිබේ. ඒවා අතර පෝෂණ ඌණතා නිසා ගොයම් පත්‍ර කහ පැහැතිවීම, නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය, හා පැළමැක්කාගේ රෝගය ඒ අතර පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසීය.
ඊයේ දින (12) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මේ සම්බන්ධව මාධ්‍ය හමුවක් පැවැත්විනි. එම මාධ්‍ය හමුවට කෘසිකර්ම වනජීවා හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් හා බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී වගාව ආශ්‍රිතව පැතිර යන මෙම රෝග තත්ත්වයන් සම්බන්ධව වාර්තා වූ සැනින් රෝග පාලනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමු කළ බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් මෙම රෝග තත්ත්වයන් වාර්තා වූ ප්‍රදේශවලට ගොස් රෝගය වළක්වාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පසුගිය සතියේ සිටම ආරම්භ කළ බව ද අමාත්‍යවරයා කීය.
තවද මෙම මහ කන්නයේ සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීම සදහා සියලු සැලසුම් සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂි විශේෂඥයින් සමග පැවැති සාකච්ඡාවේ දී මෙවර ගොවීන් වී වගාව සඳහා බණ්ඩි පොහොර නොයෙදීම ගොයම් පත්‍ර කහ පැහැතිවීමට බල පා ඇති බවත්, බණ්ඩි පොහොර මිල ඉහළ මට්ටමක පවතින බැවින් ගොවීන්ට ඒවා මිල දී ගැනීමට අපහසුතා ඇතත් රජය විසින් සෑම ගොවියෙකුටම නැවත අයකර ගැනීමකින් තොරව ලබා දෙන මුදල් බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා යොදවන ලෙසත් අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය මෙම රෝග පාලනයට විවිධ පුද්ගලයින් විසින් උපදෙස් දෙන කෘමිනාශක භාවිතා නොකරන ලෙසත්, සෑම ගොවි මහතෙක්ම තම වගා බිම හොදින් නිරීක්ෂණය කරන ලෙසත්, යම් රෝගී තත්ත්වයක් නිරීක්ෂණය වුවහොත් වහාම ප්‍රදේශයේ කෘෂි ව්‍යාප්ති නිලධාරි කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසත්, අධ්යක්ෂ ජනරාල්වරිය කීවාය.
මෙම රෝග තත්ත්වයන් පාලනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම බතලගොඩ වී අභිජනන මධ්‍යස්ථානයේ විශේෂඥයින් ද මේ වනවිට යොදවා ඇති බව සදහන් කළ එම මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා මෙම රෝග පාලනය සඳහා ගොවි ජනතාවගේ සහයෝගය අතිශයින් වැදගත් වන බව ද සඳහන් කළේය.
එමනිසා අනවශ්‍ය ලෙස බියට පත් නොවන ලෙසත්, තම වගා බිමේ දක්නට ලැබෙන වෙනස්කම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ද දැනුම් දෙන ලෙසත්, මේ වනවිට රෝගය පාලනය සඳහා ගත හැකි සියලුම දැනුවත් කිරීමේ වැඩ සටහන් අරඹා ඇති බවත් සඳහන් කළේය.