කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර නොගන්නේ නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .
ඒ මහතා අද මහනුවරදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
අද වන විට ලංකාවේ දැවැන්තම ප්රශ්නය වී තිබෙන්නේ ගොවීන්ගේ පොහොර ප්රශ්නයයි . එම ප්රශ්නය වත්මන් රජය මේ වන විට ඉතාමත් අවුල් සහගත කරගෙන තිබෙනවා . ගොවීන්ගේ පොහොර ප්රශ්නය වී වගාවට පමණක් නොවෙයි තේ, පලතුරු, එළවළු ඇතුළු සියලු බෝග වගාවන්ට එය බලවත් සේ බලපා තිබෙනවා .
ගොවීන් උද්ඝෝෂණ කරන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියාවක් හැටියට නොවෙයි . ඔවුන් ඉල්ලන්නේ පොහොර . එය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරගැනීමට මඟ පාදා තිබෙන්නේ ආණ්ඩුව මයි. පොහොර ප්රශ්නය විසඳන්න ආණ්ඩුව කල් ගත්තා වැඩියි . ආණ්ඩුවේ අසමත්කම මෙයින් ප්‍රදර්ශනය වෙනවා . කෘෂිකර්ම අමාත්‍යවරයා තවදුරටත් ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නෙ නැත්නම් ඔහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුකොටගෙන විශ්වාස භංගත්වයක් ඇතිව තිබෙනවා . එය පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපට සිදුවෙනවා . එය නොකරන්නේ නම් එය ජනතාවට කරන අසාධාරණයක් . එය ගෙන එන්නේ රජයට පණිවිඩයක් දෙන්නයි. සමහරවිට කියයි අපිට තුනෙන් දෙකක් තිබෙනවා විශ්වාසභංගය අපි දිනනවා කියා .
අපි එය ගෙන එන්නේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරවීමටයි . එසේම වගකීමකින් තොරව ඇමැතිවරයා හා ආණ්ඩුව ක්‍රියා කිරීම පිළිබඳව රටට දැනෙන්න එවැනි යෝජනාවක් ගෙන ඒම විපක්ෂය වශයෙන් සමගි ජනබලවේගයේ වගකීමක් . ඉදිරි සතියේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වූ විට ඒ පිළිබඳව ඉතා ඉක්මනින් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .
ෂේන් සෙනෙවිරත්න