මෙවර යල කන්නයේ දී කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද දින (03) පැවැත්විනි.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන කොමසාරිස් ජනරාල්, පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් මෙන්ම අප රටට පළිබෝධ නාශක අලෙවි කරන සියලුම සමාගම්වල නීයෝජිතයෝද සහභාගි වූහ.
මෙහිදී දැනට ගොවි ජනතාවට නිෂ්පාදන වියදම් ඉහළ මට්ටමක පවතින බැවින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා රජය විසින් ගෙන යන සහන වැඩ පිළීවෙළ සම්බන්ධව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය. එමෙන්ම මෙවර යල කන්නයේ දී මෙරට අලෙවි කරන සියලුම කෘමිනාශක හා වල් නාශකවල මිල ගණන් ගොවි ජනතාවට දැනෙන මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
දැනට ලෝක වෙළෙඳපොළේ කෘමිනාශක හා වල්නාශක මිල ගණන් අවමවීම, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හා ආනයනය අවශ්‍යතා සඳහා රජය විසීන් ඩොලර් නිදහස් කිරීම වැනි කටයුතු නිසා මිල ගණන් අවම කළ හැකි බව පෙන්වා දුන්නේය.
එම කරුණු සැළකිල්ලට ගනිමින් සියලුම වල් නාශක හා කෘමිනාශකවල මිල ගණන් සියයට 20කින් අඩු කිරීමටත්, ඇතැම් පළිබෝධනාශකවල මිල ගණන් සියයට 40ක් දක්වා සහන මුදලකට ලබා දීමටත් සියලුම සමාගම් එකගත්වය පළ කරනු ලැබීය.
එමෙන්ම රට තුළට හොරෙන් ගෙන එනු ලබන පලිබෝධ නාශක වැටලීම් කඩිනම් කිරීම මෙන්ම ඒ සඳහා නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට ද තීරණය කළේය. ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක අලෙවි කරන ආයතනවල බලපත්‍රය තහනම් කරන ලෙසත්, දැනට පලිබෝධ නාශක පනත යටතේ ලබා දිය හැකි දඩුවම් වැඩි කිරීම සඳහා සිදු කරන සංශෝධන කඩිනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාට උපදෙස් දුන්නේය.
පළමුවරට මෙම වර්ෂයේ යළ කන්නයට පසුව අමතර කන්නයක් වගා කිරීමට ද තීරණය කර ඇති බැවින් අලෙවි කරන වල් නාශක හා කෘමිනාශක ප්‍රමාණය වැඩිවන නිසා සමාගම් මගින් ලබා දිය යුතු සහන වැඩි කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.