කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, ධීවර, කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි දියුණුව සඳහා කෘතිම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.
දැනට ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය හා තොරතුරු තාක්ෂණය හරහා දළ ජාතික ආදායමට වාර්ෂිකව එකතුවන කොටස ඇ.ඩො.බිලියන 1.9ක් පමණ වන බවත්, මෙයින් කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මඟින් උපයන කොටස කොපමණද යන්න හඳුනාගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ප්‍රමාණය වෙන් කර හඳුනාගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන් කෘතිම බුද්ධිය හරහා දළ දේශීය නිෂ්පාදනට එකතු වන ආදායම ඉදිරි වසර කිහිපය තුළ වේගයෙන් ඉහළ නංවා ගතහැකි ක්‍රියාමාර්ගවලට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.