අපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් 2022 වසරෙදී ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් කෝටි 16,000 කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ( සංවර්ධන) ජනක ලින්දර මහතා මේ බව සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙහිදී තව දුරටත්අදහස් දැක්වූ සංවර්ධන අධ්යක්ෂ ජනක ලින්දර මහතා දුරටත් සඳහන් කළේ, පසුගිය දශක කිහිපය පුරා ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට මෙම කුළු බඩු අපනයනය සමත් වී ඇති බවත්ය.
2022 වසර තුළ කුළු බඩු අපනයනය මගින් රුපියල් මිලියන 1,60,000 (රුපියල් කෝටි 16,000) කට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
වසර 50 ක ඉතිහාසයක් ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම 2021 වසරේදී උපයා ගත් බවත් එය ඇමෙරිකන් ඩොලර් මිලිය 517 ක් හෙවත් වර්තමාන රුපියල් වටිනාකම කෝටි 19,000 කට ආසන්න වන බවත් කිය.
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියදී 2022 වසරේදීද අපනයන කෘෂි බෝග හෙවත් කුළු බඩු අපනයනය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 455.73 ක් හෙවත් රුපියල් මිලියන 1,60,000 කට වැඩි සැලකිය යුතු ආදායමක් උපයා ඇති බවද ජනක ලින්දර මහතා තව දුරටත් කීය.
විශේෂයෙන්මශ්රී ලංකාවේ කුරුඳුවලට විදෙස් රටවලින් වැඩි ඉල්ලුමක් පවතින බවත් කුරුඳු සහ වියලි කුරුඳු කොළ මෙට්‍රික් ටොන් 18600 ක් අපනයන කර ඇති බවත් එමගින් ඇමරිකානු ඩොලර් මිලියන 217.50 ක ආදායමක් උපාගෙන ඇති බවත්, ගම්මිරිස් මෙට්‍රික් ටොන් 11,415.65 ක් අපනයන මගින් ඩොලර් මිලියන 75.93 ක ආදායමක් උපයාගෙන ඇති බවත් කීය.
එයට අමතරව කරාබු නැටි මෙට්‍රික් ටොන් 1856.71 අපනයනය මගින් 2022 දි ඩොලර් මිලියන 18.03 ක ආදායමක් උපයා ඇති බවත් එනසාල් මෙට්‍රික් ටොන් 2.14 ක් අපනයනය මගින් ඩොලර් මිලියන 0.14 ක්ද සාදික්කා මෙට්‍රික් ටොන් 1978.89 ක් අපනයනය මගින් ඩොලර් මිලියන 12.75 ක ආදායමක් ද උපයා ඇති බවත් කී අධ්යක්ෂවරයා තවත් බෝග කිහිපයක් සහ අගය එකතු කළ නිෂ්පාදන අලෙවිය මගින් සැලකිය යුතු ආදායමක් උපයා ඇති බවත් කීය.
එසේම 2023 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 600 ක විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංවර්ධන අධ්යක්ෂ ජනක ලින්දර මහතා කීය.
මහනුවර මොහොමඩ් ආශික්