මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ, මධ්‍යම බන්ධනාගාරයේ දී ඉකුත් 27දා මරණ දණ්ඩනයට නියම වූ ශ්‍රී ලාංකිකයා ප්‍රියංකරගම පොලිස් වසමේ පුද්ගලයෙකු බවත්, ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ප්‍රියංකර ගම පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා, ඉහල හල්මිල්ලෑව, අධිරාණීගම ප්‍රදේශයේ පදිංචි ජූඩ් රවින්දු කූපර් (43) යන අය බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.
මරණ දණ්ඩනය නියම වී ඇති පුද්ගලයා මීට වසර 14ට පෙර දෙමව්පියන් සමග ඉහත ලිපිනයේ පදිංචිව සිටි සිට පළමු විවාහයෙන් වෙන් වී, දෙවන විවාහයක් සිදු කර ගෙන අවසන් වරට කළුතර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව අනාවරණය වූ බවත්, මරණකරු කළුතර පදිංචිව සිටි ලිපිනය ඥාතීන් නොදන්නා බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
කුවේට් රාජ්‍යයේ දී එල්ලා මරා, මරණ දණ්ඩනයට ලක් කෙරුණු ශ්‍රී ලාංකිකයාගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ මෘත දේහය, ලංකාවේ සිටින සිය මවට ලබා දීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අනුමත කර ඇති බවත් , විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කුවේට් තානාපති කාර්යාලය හරහා එය කඩිනමින් සිදු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පසුගිය 28 පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
අනුරාධපුර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර එච් .එම් සුනිල් මහතා අධිරාණීගම ප්‍රදේශයේ පිහිටි මරණකරුගේ නිවසට ගොස් ඥාතීන් සමඟ සාකච්ඡා කිරීමේන් අනතුරුව ඥාතීන් දැනුම් දුන් කරුණු මත, කුවේට් තානාපති කේ. කාන්දීපන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා ගෙන, දේහය ලංකාවට ගෙන්වා ගැනීමට ඥාතීන්ගේ කැමැත්තක් නොමැති බවට දන්වා ඇතැයිද පොලීසිය සඳහන් කළේය.