රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙට (08) ඇල්පිටිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ රුපියල් ලක්ෂ විසි පහක (25,00000/-) මුදලක් පොලීසියට ලබා දී පලා යෑමට උත්සාහ කල බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො. 17 කොරොස්වත්ත දිවුල්ගල්ල නාරම්වල ලිපිනයේ පදිංචි ජයසූරිය ආරච්චිලාගේ දිනුක මධුෂාන් (38), එම ලිපිනයේම පදිංචි හේරත් මුදියන්සෙලාගේ ගයාත්‍රී චන්ද්‍රලතා (46) සහ නො 39 දඹගිරිගම හොරොම්බාව ලිපිනයේ පදිංචි මොහන්දිරන්ලාගේ චාමර පුෂ්පකුමාර (32) නැමැති තිදෙනාය. මෙයින් පළමු හා දෙවන සැකකරුවන් අඹුසැමියන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි.
අද (07) පෙරවරුවේ ඇල්පිටිය, කුරුදුගහ හැතැප්ම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වන හා පිටවන වාහන සෝදිසි පරීක්ෂාවකට ඇල්පිටිය පොලීසිය විසින් ලක්කර තිබේ. පිවිසුමෙන් පිටතට පැමිණි නවීන පන්නයේ මෙම කේඩීඑච් වාහනය පරීක්ෂා කිරීමේදී ඉහත සදහන් සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත්බව ඇල්පිටිය පොලීසිය කියයි. ඔවුන් අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණියේ තැබිලි ගෙඩියක් බොන්නට බවත් වත්තල ප්‍රදේශයේ සිට ආල්ල, ඉමදූව දක්වා ගමන් කිරීමට පැමිණි බවත් පොලීසියට ප්‍රකාශ කර තිබේ. සැකකරුවන්ගේ වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශ රටක නිශ්පාදිත සිගරැට් පෙට්ටි 05 ක් සහ සුදු යකඩ කඩුව සොයාගෙන තිබේ.
සැකකරුවන් තිදෙනාම ඉතා විශාල වශයෙන් රත්රන් ශරීරයේ පලදාගෙන සිටි බවත් එම තිදෙනා පැලැද තිබූ රත්රන් වල වටිනාකම රුපියල් 60 කට අධික බවත් ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ඇති සැකකරුවන් මුදාහරින්නේ නම් රුපියල් ලක්ෂ 25 ක මුදලක් එම අවස්ථාවේදීම පොලීසියට ලබා දීමට හැකි බවද ප්‍රකාශ කළේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරුවන් තිදෙනාගේ පදිංචි ප්‍රදේශයන් සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කරන බවත් වත්තල, කොළඹ, අනුරාධපුරය, කහටගස්දිගිලිය ආදී ප්‍රදේශ ප්‍රකාශ කරන බවත් ඇල්පිටිය පොලීසිය කියයි.
සැකකරුවන් පැමිණි වාහනයේ කුවේට් රටේ හා ශ්‍රී ලංකාවේ ස්ටිකර් අලවා තිබූ බවත් මොවුන් ශ්‍රී ලංකිකයන් රට යවන ඒජන්සියක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. සැබෑ ලෙසම පළමු සැකකරු කුවේට් රටේ දේවාලයක් පවත්වාගෙන යන්නේද සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවද ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය පොලීසියේ පොලිස් පරීක්ෂක කේ බී එස් බී අතුකෝරල, පොලිස් සැරයන් වරුන් වන නාමල් කොඩිතුවක්කු (58466), චන්දන විතානාච්චි (48990) සහ පොලිස් කොස්තාපල් එච් එම් කේ දිල්ෂාන් (103946) යන නිලධාරීන් වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි, ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත වැටලීම සිදුකර තිබෙන අතර වැඩිදුර පරික්ෂණද පවත්වයි.
ජනක් ද සිල්වා - ඇත්කදුර/ තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල

