කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයන්ගෙන් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි.
නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක වාහනයක් කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් කොටස් කරමින් තිබියදී කල්ලි නායකයා සහ අනෙකා කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් නෙළුන්දෙනිය සහ නයිවල ප්‍රදේශයන්හි පදිංචි 38 වියෙහි පසුවන විවාහකයින් බවද පොලීසිය පවසන අතර ප්‍රධාන සැකකරු කලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙහි කැනීම් අංශයේ සේවය කොට ඇති බව අනාවරණයවී යැයිද කියයි. මොවුන් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට පොහොර ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කළ බවට පැමිණිලි ලැබී ඇති බවද පොලීසිය පවසයි.
මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පසුගිය 2 වෙනිදින අනුරාධපුර ප්‍රදේශයෙන් රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් ගෙවා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන ඒකල ප්‍රදේශයට රැගෙන විත් ජී.පී.එස් තාක්ෂණ උපකරණය ඉවත් කොට පසුව නිට්ටඹුවට රැගෙන ගොස් කොටස් කිරීම සිදු කළ බව අනාවරණය වී තිබේ.
මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් මෙම මෝටර් රථයෙහි ලීසින් වාරික ගෙවාගැනීම පිනිස අනුරාධපුරයේ කුලී රථ ලබාදෙන ස්ථානයකට ලබාදීම සිදු කොට ඇත.
ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් කෝසල ලියනආරච්චි යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ශාන්ත ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන්වන අංජන - 13093 , තෙන්නකෝන් - 72328 , කොස්තාපල්වරුන්වන ලක්ෂාන් - 2075 , නුවන් - 97478 සහ බණ්ඩාර - 103118 යන නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර මෙම කල්ලියේ තවත් අයෙකු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇත.
මෙම සැකකරුවන් සහ අඩු භාණ්ඩ නිට්ටඹුව පොලීසියට බාරදීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශන සදහා අනුරාධපුර මූලස්ථානය පොලීසිය වෙත බාරදීමට නියමිතය.
ගම්පහ තිලකරත්න දිසානායක