කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් එම සභාවේම මන්ත්‍රීවරුන් තිදෙනෙකු එක්ව ගොනු කරන ලද පෙත්සමක් නිශ්ප්‍රභ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද මූලික විරෝධතාවයක් විභාගයට ගැනීම කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඊයේ (1) ප්‍රතික්ෂේප කළේය.
ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මාර්ගයෙන් කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත වික්‍රමතිලක මහතා ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) විසින් එම මූලික විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රියන්ත සිසිර කුමාර , කේ.ඒ.පද්මචන්ද්‍ර සහ ජාතික ජන බලවේගය පක්ෂයේ ධර්මප්‍රිය දිසානායක මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුකාරවරයාට නියම කරන්නැයි ඉල්ලමින් අධිකරණයෙන් එම මැණ්ඩමුස් රිට් ආඥාව ලබාගෙන තිබේ.
එම මන්ත්‍රීවරුන් තිදෙනා ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි සඳහන්වී තිබුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඔහුගේ පාලන කාලය තුළ අවිධිමත් ආකාරයට සභාවේ පාලනය ගෙන ගොස් කරන ලද දූෂණ අක්‍රමිකතා සොයා බලා විමර්ශනයක් සිදු කර ඇති ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාරවරයාට නියම කරන ලෙසය.
ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවය සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා මන්ත්‍රීවරුන්ගේ පෙත්සමට එරෙහිව සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිගත නොහැකි බවත් දේශපාලන නියෝජිතයන්ට පමණක් නොව ඔීනෑම සිවිල් පුරවැසියෙකුට තොරතුරු සොයා බලා දැනගැනීමේ අයිතියක් පවතින බවත් ප්‍රකාශ කළේය.
ඒ අනුව සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම්කාර මන්ත්‍රීවරුන් තිදෙනා විසින් ලබාගෙන ඇති රිට් ආඥාව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් එම පෙත්සම ලබන 27 වන දින සිට විභාගයට ගැනීමට නියම කළේය.
පෙත්සම්කාර මන්ත්‍රීවරුන් තිදෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ සංජීව විජේපාල මහතා පෙනී සිටියේය.