කුරුණෑගල සිට (31) වෙනිදා රාත්රී 7.30 කතරගම දක්වා ධාවනය වූ කතරගම ඩිපෝවට අයත් අංක WPNC 0803 දරණ ලංගම බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇත.
මෙම බස් රථය 31 වෙනිදා රාත්රී 07.30 පමණ කුරුණෑගල බස් නැවතුම්පොළෙන් කතරගමට යාමට පිටත්වී තිබේ.
සැප්තැම්බර් 01 අලුයම 05.00 පමණ බස් රථය ඇතිලිවැව සති පොළ අසලට ලඟාවී මාර්ගය අයිනේ නතර කර ඇත්තේ මගීන් කිහිප දෙනෙකුට බැසයාම සඳහාය.
බස් රථයේ කොන්දොස්තර බස් රථයේ ඩිකියේ තිබූ බඩු පාර්සලයක් එය අයත් මගියෙකුට ලබාදීමට සූදානම් වන විට වැල්ලවාය දෙසින් වේගයෙන් පැමිණි ලොරි රථයක් එනවා දුටු ඔහු එයින් බේරීම සඳහා දිව ගොස් ඇත.
සහල් පටවා ගත් කන්ටේනර් සහිත ලොරි රථය එකවරම බස් රථයේ පිටුපස ගැටීමෙන් බස් රථයට බරපතළ හානි සිදුවී තිබේ.
බස් රථයේ සිටි එක් මගියෙකුට සුළු සිරීම් තුවාල සිදුවී ඇත. බස් රථය සහ ලොරි රථය කුඩාඔය පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් පසුව මෝටර් රථ පරීක්ෂක වරයෙකු බස් රථය පරීක්ෂා කොට ඊට ලක්ෂ 13 පමණ අලාභ හානියක් සිදුවී ඇති බවට නිගමනය කර තිබේ.
ඒ අනුව කල්මුණේ පදිංචි ලොරි රථයේ හිමිකරු අදාළ මුදල බස් රථය හිමි කතරගම ඩිපෝවට කුඩාඔය පොලිස් ස්ථානයේදීම ලබාදී ඇත.
අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරුට නඩු පැවරීමට කටයුතු යොදා ඇතැයි කුඩාඔය වැඩබලන පොලිස් ස්ථානාධිපති එච්.එම්.ඩී.කේ හේරත් මහතා පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
