උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට යාබදව දුම්රය මාර්ගයට අද (24දා) අලුයම 05.00 ට පමණ කැලි කසල සහිත විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය තුනක කාලයක් ඇන හිට තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර , හැටන් වටරවුම් මාර්ගය අසලදි කැලි කසල සහිත පස් කන්ද කඩා වැටිම හේතුවෙන් නානුඔය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්රවාහන දුම්රිය එන්ජිම පස් කන්දේ ගැටිම නිසා දුම්රිය එන්ජිමේ වැකුම් නලයකටද අලාභ හානි සිදු වි තිබු බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසිය.
හැටන් වටරවුම් මාර්ගයේ පදිංචි කරුවන් විසින් දුම්රිය මාර්ගයට ඉහලින් කැලි කසල බැහැර කිරිම නිසා හැටන් නගරයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග කැලි කසල සහිත පස් කන්ද දුම්රිය මාර්ගයට කඩා වැටි ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
දුම්රිය මාර්ගයට කඩා වැටුනු කැලි කසල සහිත පස් කන්ද දුම්රිය මාර්ග නඩත්තු සේවකයින් විසින් ඉවත් කිරිමෙන් පසු උදැසන 08.30 පමණ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට පත් විය.
