අනුරාධපුර පොලිසිය මගින් මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් මත්කුඩු තොගය වන රුපියල් කෝටි පහකට වැඩි හෙරොයින් මත්කුඩු කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සමග කාන්තාවක් අද ( 5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර රංගල පොලිස් වසමේ එළුගොල්ල වත්ත ප්‍රදේශයේ ලයින් කාමරයක පදිංචිව සිටි 26 හැවිරිදි ද්‍රවිඩ ජාතික කාන්තාවක් බව පොලීසිය කියයි.
අනුරාධපුර විජයපුර, භාතිය මාවතේදී ඊයේ (4දා) හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත්, අනුරාධපුර රෝහල ආසන්නයේ රෙදි වෙළෙඳාමේ නිරතව සිටි කොට්ටාව ප්‍රදේශයේ පදිංචි සැකකරු ලබා දුන් ප්‍රකාශයකට අනුව මෙම හෙරොයින් මත්කුඩු තොගය සමග සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පොලිසිය ප්‍රකාශ කළේය.
සැකකරුගේ තොරතුරු වලට අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීහු පිරිසක් මහනුවර රංගල ප්‍රදේශයට ගොස්, හෙරොයින් මත් කුඩු කිලෝ දෙකයි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් සමග මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවත්, ඇය ඊයේ (4දා) අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ නෑනා බවට අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.
එම සැකකාරියගේ 28 හැවිරිදි වියේ පසුවූ සැමියා ද පසුගිය අප්‍රේල් මස මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය කියයි.
තම සැමියා ජීවත්ව සිටියදී රැගෙන විත්, ලයින් කාමරය තුළ සඟවා තිබූ මෙම හෙරොයින් මත්කුඩු තොගයෙන් කිලෝ එකක ප්‍රමාණයක් සැමියා මිය යෑමෙන් අනතුරුව මස්සිනා වන පළමු සැකකරු අනුරාධපුරයට රැගෙන ආ බවද සැකකාරිය සිදු කළ ප්‍රකාශ වල සටහන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.